WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියානු විදේශීය හමුදාවට එරෙහිව මිය ගිය ලාංකීය දමිළ කත - භූපති අම්මා -

2025 April 30- Page Views : 35

දෙමළ අරගල ඉතිහාසය හා බැඳී පවතින පරිත්‍යාගය පිළිබඳ අසාමාන්‍ය උදාහරණ කිහිපයක් මෙරට නූතන ඉතිහාසය තුළ දක්නට ලැබේ. විදේශීය හමුදාවකට එරෙහිව 56 හැවිරිදි දරුවන් දස දෙනෙකුගේ මවක් සහ මිත්තනියක් වු කනපතිපිල්ලෙයි භූපති විසින් කරන ලද අරගලය එම ඉතිහාසය අතරට යා යුතුමය.

මව පූපති, නැතහොත් භූපති අම්මා යන ආදරණීය නාමයෙන් ආමන්ත්‍රණය කරනු ලබන මෙම අසාමාන්‍ය කාන්තාව 1988 අප්‍රේල් 19 වන දින විදේශීය බලපෑමට එරෙහිව උපවාස කර මිය යාම පිළිබඳව අනුවේදනීය කතා පුවත සහ එම කතා පුවත පිළිබඳව වර්තමානය වන විට පවතින දුර්මතයන් ලාංකිකයන් ලෙස අප දැනගත යුතුම කරුණක් වේ.

1932 නොවැම්බර් 03 වන දින මඩකලපුවේ කිරන් නම් පුරාණ දෙමළ ගම්මානයේ අන්නමුතු සහ ඔහුගේ බිරිඳ පෙරියපිල්ලෙයිට දාව ඉපදුන ළදරු දියණිය භූපති පුරාවෘත්තීය චරිතයක් බවට පත්වනු ඇති බවත්, ඉතිහාසයේ හේතුවක් සඳහා උපවාස කර මරණයට පත් වු පළමු ලාංකීය ද්‍රවිඩ කාන්තාව වේයැයි ඔවුන්ගේ මනසට කිසි විටෙකත් ඇතුළු නොවුවා සේම තම දියණිය බහුතර ජනතාවක් ඉදිරියේ ගෞරවයට පාත්‍ර වන බව ඔවුන් දැන සිටියේ නැත.

භූපතිගේ ළමා කාලය තුළ අසාමාන්‍ය දෙයක් දක්නට නොමැති අතර ඇය සහෝදරයන් දෙදෙනෙකු සිටින දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක එකම ගැහැණු ළමයා විය. පවුලක උපදින ගැහැණු ළමයෙකුගේ හොඳම අවශ්‍යතා වූයේ පරමාදර්ශී ජීවිතයක් ඉටුකිරීම යන මතය පදනම් කර ගනිමින් මූලික සාක්‍ෂරතා කුසලතා ඇති භූපති පාසලෙන් ඉවත් කර වයස අවුරුදු දොළහේදී විවාහ වූ අතර මෙම විවාහයෙන් පුතුන් දෙදෙනෙක් උපත ලැබූහ.

ඉතා කුඩා අවධියේදී භූපති ඉක්මනින් පරිණත කාන්තාවකගේ හැඟීම් වර්ධනය කර ගන්නට සමත් වුවත් දෛවෝප ගත සරදමක් නිසාවෙන් ඉතා කෙටි කාලයක් තුළ වැන්දඹුවක් වූවාය. නමුත් භූපති නැවත විවාහ වූයේ පුතුන් දෙදෙනෙකු සහ දියණියක සිටින වැන්දඹු ස්වාමිපුරුෂයෙකු වූ කනපතිපිල්ලෙයි සමඟ ය. ඉන්පසුව ඇගේ පවුල පුළුල් වූ අතර මෙම විවාහයෙන් තවත් පුතුන් දෙදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු බිහි වීමෙන් භූපති දරුවන් කිහිප දෙනෙකුගේ මවක් බවට පත්විය.

අවිචාරවත් ඝාතන, සහ වධහිංසා පැමිණවීම් කාලවකවානුවක ඉන්දීය හමුදා මෙහෙයුම්වල භීෂණය සහ වේදනාව ඇගේ දොරකඩට පැමිණි අතර ඇගේ දරුවන්ගේ මරණයෙන් වේදනාවට පත් භූපතිගේ ප්‍රතිචාරය වුයේ ශෝකය සහ දුකයි. නමුත් සදාකාලික වේදනාවන්වලින් යටපත් නොවූ ඇයගේ ශෝකය සහ දුක කෝපය සහ පරාර්ථකාමීත්වය බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවීය.

භූපති අම්මා මානසික අවපීඩනයට ලක්කරන, තනි පුද්ගල හැඟීම් ධනාත්මක සමාජ ක්‍රියාවක් බවට පරිවර්තනය කළාය. ඇගේ අමිහිරි අත්දැකීම් ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ අත්දැකීම් බව භුපති දැන සිටියාය. ඇය මඩකලපුව ප්‍රදේශයේ මව්වරුන්ගේ පෙරමුණ සමඟ සම්බන්ධ වූ අතර මෙම සංවිධානය හරහා ඇය සහ අනෙකුත් කාන්තාවන් මුහුණ දුන් කම්පනයන්ට සහයෝගය දැක්වීමට, උදව් කිරීමට සහ ආශ්වාදයක් ලබා දීමට ඇයට හැකි විය.

මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව භූපති අම්මා ගෙන ගිය දේශපාලන ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව පැමිණියේ ඉන්දීය හමුදාව උතුරු නැගෙනහිර අත්පත් කර ගැනීම අතරතුර ය. ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊය අතර යුද්ධයක් ආරම්භ වීමත්, පසුව අහිංසක දෙමළ සහ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කරන ලද මරණ සහ කුරිරුකම් භූපති අම්මා භීතියට පත් කලාය.

කුරිරු ආක්‍රමණික හමුදාවකින් බරපතල අවදානමක් ඇති බව වටහා ගත් මෙම මානුෂවාදී කාන්තාව , යුද්ධයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු හමුදාව විසින් සිදූකරන ලද මරණයන්ට සහ ව්‍යසනයට එරෙහිව තම විරෝධතාව පලකිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියාය. ඉන්දීය හමුදාව විසින් දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කරන විට, භූපති අම්මා නිර්භීතව නියෝග නොසලකා හැර ඔවුන් විසින් සිදුකරන ලද කුරිරුකම්වලට එරෙහිව පෙළපාලි සහ විරෝධතා සංවිධානය කලාය.

දේශපාලන නිදහසට එල්ල වූ මෙම බාධාවෙන් පසු භූපති අම්මා, යුද්ධයේ අසාධාරණයට එරෙහිව ලෝකයට විරෝධය දැක්වීමට අධිෂ්ඨාන කරගෙන, තම දේශපාලන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා උපවාසයක් කිරීමට තීරණය කලාය.

1988 මාර්තු 19 වන දින භූපති අම්මා මංගේෂ්වර් පිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයේ සිට උපවාසය ආරම්භ කලාය. ඇය ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කලාය.එහි පළමුවැන්න වූයේ එල්ටීටීඊය සහ ඉන්දීය සාමසාධක හමුදා අතර වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් ලෙසත්, දෙවැනි ඉල්ලීම වූයේ එල්ටීටීඊය සහ ඉන්දීය රජය අතර කොන්දේසි විරහිත සාකච්ඡා යන කරුණුය. නමුත් දින තිස් එකක් පුරාවට නිරාහාරව උපවාසයේ යෙදී සිටි භූමති අම්මා 1988 අප්‍රේල්19 වන දින උපවාස භූමියේදීම ඇයගේ අවසන් හුස්ම හෙලන්නට විය.

පසුකාලීනව සමස්ත ලාංකීය කාන්තාවන්ගේ අවිහිංසාවාදයට සටන් වැදී මිය ගිය මෙම භූපති අම්මාගේ මිය යාමේ දිනය එවකට උතුරු නැගෙනහිර ප්‍රදේශය වසාගෙන සිටි එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානයේ සිහිනය වූ ඊළාම් රාජ්‍යය ලබාගැනීම වෙනුවෙන් සිදුකළ අරගලයක් ලෙසට නම්කර එම දිනය ඊළාම් හිතවාදී සැමරුමක් ලෙස දිගින් දිගටම උතුරු නැගෙනහිර පළාත් තුළ සමරන්නට විය.

මෙම සිදුවීම දමිළ සම්භවයක් ඇති කාන්තාවක් මුල් කරගෙන සිදුවීමත් වැඩි වශයෙන් එවකට ඉන්දීය හමුදාවේ බලපෑම දෙමළ ජනතාව වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශයන් වෙත යොමු වී තිබීමත් හේතු කොටගෙන ඒ සඳහා එවකට ක්‍රියාත්මකව තිබූ එල්ටීටීඊ සංවිධානයෙන් ආභාෂය මෙම කතා පුවත වටා ඒකරාශී වී ඇති බව අපට මනාව අවබෝධ කර ගත හැක. එමෙන්ම මෙම සිදුවීමේ සත්‍ය කතා පුවත පිළිබඳව වසර ගණනාවක් මුළුල්ලේ සිංහල ජනතාව ජීවත්වන ප්‍රදේශයන් වෙත ව්‍යාප්ත නොවීමත් එවැනි පසුබිමක මෙහි සත්‍ය සිදුවීම සමස්ත ලාංකීය ජනතාව දැනුවත් නොවීමත් යන කරුණු මත මෙම සැමරුම් කටයුත්ත ඊළාම් මතවාදයට පමණක් සීමා වූ දෙයක් වන්නට විය.

මෙම වීර කාන්තාවගේ කතා පුවත ජාති භේද ආගම්භේද පසෙකලා ප්‍රබුද්ධ මනසකින් ඒ දෙස බැලීමේදී නිරායාසයෙන් අපට පෙනී යන්නේ මෙම ක්‍රියාවලිය විදේශ බලපෑමක් හමුවේ එනම් ඉන්දීය හමුදාව මෙරට උතුරු නැගෙනහිර ලාංකීය කාන්තාවන්ට සිදු වූ අසාධාරණයන් වෙනුවෙන් සිදුකරනු ලැබූ අවිහිංසාවාදී ක්‍රියාවක් ලෙසත් හුදෙක් එල්ටීටීඊ සංවිධානයේ ඊළාම්වාදි කරුණු මුල්කර ගනිමින් කරනු ලැබූ ක්‍රියාවක් නොවන බවටය. එයට කදිම නිදසුන වන්නේ මෙම උත්තරීතර කාන්තාව සටන් වැදුනේ අතිශෝචනීය තත්ත්වයකට පත්ව සිටි දෙමළ සහ මුස්ලිම් කාන්තාවන්ගේ නියෝජනයක් ලෙසටය.

1980 දශකයේ අග භාගයේ ඉන්දිය සාම සාධක හමුදාව මෙරටට පැමිණීමෙන් පසුව ඔවුන්ගේ ඉලක්ක ගත ප්‍රදේශයන් වුයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයි. එම කාල වකවානුවේ එල්ටීටීඊ ත්‍රස්ථවාදි ක්‍රියාකාරකම් එම ප්‍රදේශ වලට පමණක් සීමා වී තිබූ බවට අපි මෙහිදී හොඳින් අවබෝධ කරගත යුතු දෙයක් වේ .එම භීෂණ සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන් තුළ වැඩි වශයෙන් ජිවත් වුයේ දෙමළ සහ මුස්ලිම් ජනතාව නිසාවෙන් මෙම ඉන්දීය හමුදාවන්ගෙන් තාඩන පීඩනයන්ට මෙන්ම සාහසික ක්‍රියාවන්ට අනෙක් ප්‍රදේශයන් තුළ බහුතරයක් ජිවත් වු සිංහල ප්‍රජාව ලක් නොවීම යන කරුණු කාරණා මත එම කාලයේ මෙන්ම යුධ සමයෙන් පසුව සහ වර්ථමානය වන විටත් එහි සැබෑ ස්වරූපය සහ සත්‍ය පසුබිම දකුණේ ජනතාවගෙන් අදටත් වසන්වීම පුදුමයට කරුණක් නොවේ.

එමෙන්ම එල්ටීටීඊ සමය තුළ මෙම ජාතිවාදි , ආගම්වාදි නොවු අවිහිංසාවාදි සටන ඔවුන්ගේ ත්‍රස්තවාදි සංවිධානයේ ප්‍රවර්ධනයට හා ජාතිවාදි ,බෙදුම්වාදි හැඟීම ද්‍රවිඩ ජනතාව තුළ උණුසුම්ව තබා ගැනීමට උපයෝගී කර ගත් නිසාවෙන් එම උපවාස හරහා සිදු වූ ජීවිත පරිත්‍යාගය එල්ටීටීඊ සංවිධානය මෙරට රජයට එරෙහිව සිදුකරනු ලැබු නැතහොත් දෙමළ ජනතාව සිංහල ජනතාවට එරෙහිව කරනු ලැබු ක්‍රියාවක් ලෙස ලේබල් වීමෙන් ලාංකිය සිංහල ජනතාව ජාතිවාදි ආගම්වාදි යන පාට කණ්ණාඩි පැළඳ ගනිමින් ඒ දෙස බලන්නට පුරුදු විය.

යුධ සමයෙන් පසුව දමිළ දේශපාලඥයින්, සිංහල දේශපාලඥයින් සහ දමිළ ඩයස්පෝරාවගේ ඕනෑ එපාකම් ඉටු කිරිමේ හා ඔවුන්ගේ පැවැත්මේ සාධකයක් ලෙස මෙම සැමරුම් උතුරු නැගෙනහිර ප්‍රදේශයන් තුළ සිදුකිරීම මත අනාගත ලාංකිය දෙමළ පරම්පාරාවද මංමුලාවී හමාරය. දේශයේ පාලකවරුන් යැයි ජාතියේ පාලකවරුන් යැයි කියාගන්නා අයවළුන් වර්ථමානය වන විටත් මෙම ව්‍යාජ මතයන් සමාජය තුළ පෝෂණය වීමට උර දෙන්නේ කවුරුන් ගැන සිතාද යන්න තේරුම් ගැනීමට අප හට නොහැකි වි ඇත්තේ අප තුළ ඇති මමත්වය නිසාද සිතා බැලීම ඔබගේ කාර්යයකි.

බෙදුම්වාදි ඊළාම් සටන අවසන් වී දශකයට වැඩි කාලයක් ගත වී හමාරවු උතුර දකුණ යාවී ආගම් භේදයකින්, ජාති භේදයකින් තොරව ලාංකික ජනතාවට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා බාධාවකින් තොරව ගමන් කල ද ජාතිභේද ආගම්භේද පසෙකලා ලාංකිය ජනතාවක් ලෙස අපගේ මාතෘ භූමිය තවමත් හිගන්නාගේ තුවාලය මෙන් සුව නොවන්නේ පක්‍ෂ දේශපාලනය මෙන්ම ජාතිවාදි දේශපාලනය නිසාවෙන්ද නැතහොත් ලාංකිකයන් ලෙස අතීතයේ සිට පැවත එන දුර්මතයන් හා ලේබල් තුළින් ඉවත් වී සහජීවනය සෞභාග්‍ය උදා කර මෙම මාතෘ භූමිය ලෝකයේ වැජඹෙනවාට අකමැති කුහක සිත් පිත් ඇති අයවළුන් නිසාවෙන්ද යන්න ඔබ ඔබගෙන්ම විමසා බැලිමට උචිත කාලය අද එළඹ ඇත.

• සපුමල් බණ්ඩාර