මද්‍යසාර නිසා මෙරට දිනකට 50ක් මරුට - මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය
2026 January 16- Page Views : 3
ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මිය යන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් අනාවරණය කළා.
'මද්‍යසාර පිළිබඳ සත්‍ය හා මිත්‍යාව සහ මහජන නියෝජිතයින්ගේ කාර්යයභාරය' නමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කොළඹ සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මද්‍යසාර සහ දුම්කොළ භාවිතය නිසා වසරකට මෙරට පුද්ගලයින් 15,000 - 20,000ක අතර ප්‍රමාණයක් මිය යන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
රිය අනතුරු, පිළිකා සහ අනෙකුත් රෝගාබාධවලින් සිදුවන මරණවල එකතුවටත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් මද්‍යසාර නිසා සිදුවන බවත්, නීත්‍යානුකූල සහ නීති විරෝධී මත්පැන් යන දෙවර්ගයම මෙයට දායක වන බවයි ඔහු මෙහිදී අවධාරණය කරනු ලැබුවේ.
එමෙන්ම, දුම්කොල හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක සඳහන් කළේ, මද්‍යසාර පාලනය කිරීමේදී පවතින ප්‍රධාන බාධාවක් ලෙස දේශපාලනඥයින් සහ මත්පැන් සමාගම් අතර පවතින සබඳතාවයද බලපාන බවයි.
ඒ සම්බන්ධයෙන් මෙහිදී පෙන්වා දුන් ඔහු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජන නියෝජිතයින් බහුතරයකට මත්පැන් නිෂ්පාදනාගාර හෝ අලෙවිසැල්වල අයිතිය පවතින බවත්, දේශපාලන බලය පවත්වාගෙන යාමට මත්පැන් සමාගම්වල මුදල් භාවිතා වන අතර, මත්පැන් සමාගම් සිය ආධිපත්‍යය පවත්වාගෙන යාමට දේශපාලනඥයින් භාවිතා කරන බව ද සඳහන් කළා.
තවද, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) උපුටා දක්වමින් මෙරට නීති විරෝධී මත්පැන් භාවිතය 300% කින් හෝ 37% කින් ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එවැනි ප්‍රකාශයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකර නැති බවත් මෙහිදී පැහැදිලි කෙරුණා.