පලාගිය සැකකරු අල්ලන්න ගිය සැරයන්ගේ පිස්තෝලය අතුරුදන්
2025 August 05- Page Views : 1187
අධිකරණයෙන් පැන පලා යමින් සිටි සැකකරුවකු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී පිස්තෝලය සහ ජීව උණ්ඩ 10ක් සහිත පතුරන් ගැබ අස්ථානගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මීගමුව පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි මෙම සැරයන්වරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරුන් පැමිණෙන සහ පිටවන දොරටුව අසල රාජකාරියේ නිරත වී ඇත.
එලෙස රාජකාරී නිරතව සිටින අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවෙකු නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී එකවරම පලාගොස් ඇති අතර, ඉහත පොලිස් සැරයන්වරයා සහ බන්ධනාගාර නිලධාරියෙකු සැකකරු පසුපස හඹා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත භාරදීමට කටයුතු කළ සැරයන්වරයා පසුව ඔහුගේ රාජකාරි ගිනි අවිය පරීක්ෂා කිරීමේදී ඒ අස්ථානගත වී ඇති බවට අනාවරණය වී ඇත.
පසුව පොලිස් නිලධාරින් සමග සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානය පරීක්ෂා කළද ගිනි අවිය හමුවී නොමැත.
මීගමුව මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.