වලස්කටා අත්අඩංගුවට
2025 August 07- Page Views : 1187
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුවන කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ජාලය මෙරට සිට මෙහෙයවු ප්‍රධානතම සැකකරු බව පැවසෙන තිළිණ සම්පත් හෙවත් වලස්කටා නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයෙකු බව කියන දිසානායකගේ දේවාන්මිනි දිසානායක හෙවත් ගම්පහ පස් දේවා නමැත්තා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පසුගිය 03 වැනිදා අත්අඩංගුවට පත් වුණා.
ඒ, ඔහු තායිලන්තයට බලා පලා යෑමට පැමිණි අවස්ථාවේදීයී.
පසුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දුන්නා.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වු අතර, සීදුව පොලිස් වසමේදී තවත් සැකකරුවෙක් අත්අඩංගුවට පොලිසිය පියවර ගත්තේ ඒ අනුවයි.
මෝටර් රථයකින් යමින් සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.
එලෙස අත්අඩංගුවට පත් වුණේ තිළිණ සම්පත් හෙවත්, වලස්කටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 36 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය පැවසුවේ ඔහු විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකරු බවට මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේ සමඟ හුවමාරු කරගත් වට්ස්ඇප් පණිවුඩ රැසක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
පසුගිය පොසොන් පොහෝදා දන්සලක් පවත්වන ස්ථානයකදී ගම්පහ ඔස්මන් ඝාතනයට ද ඔහු කෙහෙල්බද්දර පද්මේ සමග සැලසුම්කර ඇති බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.
ඒ වෙනුවෙන් දන්සල පවත්වන ස්ථානය නිරීක්ෂණය කර දැනුම් දෙන ලෙසටත්, කෙහෙල්බද්දර පද්මේ විසින් ඔහුට දැනුම් දි ඇති අතර, එම ස්ථානයේ අදාළ අපරාධය සිදුකිරීමට නොහැකි බවට පසුව ඔහු කෙහෙල්බද්දර පද්මේට දැනුම් දී තිබෙනවා.
මේ අතර, තායිලන්තය බලා පිටත්ව යෑමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් පස් දේවා නමැත්තාගේ ගමන් මල්ලේ තිබී අභ්‍යාස පොතක් ද සොයාගෙන ඇති අතර, එහි අවසන් පිටුවේ තිබී කිසියම් නිවාස තුනකට යා හැකි මාර්ග සිතියමක්ද සොයාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අනාවරණ වි ඇත්තේ අදාළ නිවාස තුන තවත් සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හීනටියන සංඛගේ හිතවතුන් තිදෙනෙකුගේ නිවෙස් බවයි.
එම නිවාසවලට ගමන් කළ හැකි සිතියම කෙහෙල්බද්දර පද්මේට රැගෙය ගොස් දීමට සැලසුම්කර තිබු බවටද තොරතුරු අනාවරණ වනවා.
පසුගිය පෙබරවාරි මාසයේදී ගම්පහ පත්දඩුවන ප්‍රදේශයේදී කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයෙකුට වෙඩි තැබීමක් සිදුවු අතර, එම වෙඩික්කරුවන් පැමිණ තිබු යතුරු පැදිය අදාළ සිතියමේ සඳහන්ව තිබු නිවසක පදිංචි කාන්තාවකට අයත් එකක් බවද අනාවරණ වි තිබෙනවා.
පොලිසිය සැකකරන්නේ පත්දඩුවන වෙඩි තැබීමට පළිගැනීම සඳහා එම සිතියම පද්මේ විසින් ගෙන්වා ගන්නට ඇති බවට සැකකරන බවයි.