ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන කථානායකගේ තීරණය අද
2025 August 19- Page Views : 1187
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායකවරයාගේ මතය අද (19) ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය.
එහිදී කථානායකවරයා විසින් විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සිය මතය ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.
අදාළ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූලව ඉදිරිත් කර නොමැති බවට මේ වන විට විවිධ පාර්ශව කරුණු දක්වමින් සිටී.
ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නොහැකි බවට කථානායකවරයා විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේවෙතත් විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාට හිතුවක්කාරි ලෙස කටයුතු කිරීමට නොහැකි බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු නොකරමින් කථානායකවරයා කටයුතු නොකරන්නේනම් ඔහුට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවය.
අද දිනයේ පාර්ලිමේන්තුවේ දී සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට (20) දිනයේ දී සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පත, රබර් පාලන සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ, බ්‍රහස්පතින්දා දිනයේ රේගු ආඥා පනත යටතේ ගැසට් මඟින් ප්‍රකාාශයට පත්කර ඇති යෝජවා පිළිබඳ විවාදය සහ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ වන නියමයන් විවාදයට ගැනීමට නියමිත බවය.
සිකුරාදා දිනයේ දී විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.