කුඩු ජාවාරම්කාර “පරෙයි සුදා” ගෙන් 200කට සාදයක්: බුද්ධි අංශ සියල්ල වීඩියෝ කරලා
2025 August 19- Page Views : 1187
විදේශගතව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන වනාතේ “පරෙයි සුදා” නමැත්තා සිය උපන් දිනය වෙනුවෙන් කෝට්ටේ පිහිටි සුපිරි උත්සව ශාලාවකදී දෙසීයකට වැඩි සිය අනුගාමිකයන් ගෙන්වා සාදයක් පවත්වා ඇතැයි බුද්ධි අංශ පවසනවා.
මෙම සාදයට රුපියල් මිලියනයකට වඩා මුදල් වැය කර ඇති අතර සාදය සංවිධානය කර ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුගේ මූල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යන පදනමක රැස්වීමක් ලෙසින් බව සදහන්.
මෙම සාදයට කොළඹ නගරයේ විවිධ වතු ආශ්‍රිත පිරිස් පැමිණ ඇත්තේ එකම වර්ගයේ ඇඳුම් ඇඳගෙනය. කාන්තාවන්ට ඒ සඳහා කල්තියා සාරිද පිරිමි පුද්ගලයින්ට ටී ෂර්ට් ද ලබා දී තිබෙන බව බුද්ධි අංශ සඳහන් කරනවා.
මෙම සාදය පසුගිය සති අන්තයේ රාත්‍රී කාලයේ පවත්වා තිබෙනවා. මත්කුඩුවලින් උපයා ගන්නා කළු සල්ලි සුදු කිරීමට මෙම පදනම සකස්කර ඇති බවත් ඒ පිටුපස සිටින ජාලය මේ වන විට බුද්ධි අංශ හඳුනාගෙන ඇති බවත් ආරංචි මාර්ග අනාවරණය කරනවා. මෙම සාදයට සජීවී ලෙස ‘පරෙයි සුදා” විසින් විදේශයේ සිට වීඩියෝ දුරකථන ඇමතුමක් ඔස්සේ සම්බන්ධව සිට ඇති බවයි බුද්ධි අංශ පෙන්වා දෙන්නේ.
මත්කුඩු මුදල් වැය කරමින් පරෙයි සුද්දා විසින් පසුගිය පොසොන් පොහොය දින රුපියල් 15,000 බැගින් වූ බඩු මලු 1000නට වැඩි ප්‍රමාණයක් බොරැල්ලේදී බෙදා දී ඇතැයි පවසනවා.
සුපිරි වෙළඳ සැලකින් මෙම බඩු මලු ලබාගෙන තිබුණු අතර ලොරි සහ කන්ටේනර්වල පැටවූ එම බඩු මලු දින දෙකක් පුරාවට බෙදා දී තිබූ අතර, හාල් කිලෝ 10ක්, බිත්තර 10 බැගින් අඩංගු පැක් එකක් ද එම බඩු මලුවල ඇතුළත්ව තිබී ඇත්තේ.
එමෙන්ම බත් පාර්සල් 2000ක්ද ඊට සමගාමීව බෙදා හැර ඇති බව බුද්ධි අංශ සඳහන් කළා. මෙම සාදය ආරක්ෂක බුද්ධි අංශ විසින් වීඩියෝගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.