ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු
2025 August 21- Page Views : 1187
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නුදුරේදීම සකස් කර අවසන් කිරීමට හැකියාව පවතින බව ඒ සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව පවසයි.
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්කළ විද්වත් කමිටුව එහි සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පසුගියදා රැස්වුණි.
එහිදි පනතට ගෙන එනු ලබන සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
සාකච්ඡාව සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමුන්ති පීරිස්, ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් වු කමිටුව මේ වන විට 14 වතාවක් රැස්ව ඇති අතර එහි මීළඟ සාකච්ඡාව හෙට (22) දින රැස්වීමට නියමිතය.
පනත් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මහජන අදහස්, සිවිල් සංවිධාන අදහස් හා අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගැනීමට කටයුතු කර තිබේ.