මාලිංග මහින්දව හමුවෙයි
2025 August 26- Page Views : 1189
හිටපු ජනාධිපති ,ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග අතර හමුවක් පසුගිය දා සිදුව තිබෙනවා. ඵම හමුවෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ තැබූ සිය X ගිණුමේ සටහන පහත දැක්වෙනවා.
"කුඩා කාලයේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට මම බෙහෙවින් ඇලුම් කළෙමි. ක්‍රීඩාවේ යෙදෙමින් ක්‍රීඩාංගනයේම කාලය ගත කිරීම නිසා මා යම් යම් අවස්ථාවන්හී දී අපගේ ගුරුතුමා වූ දිවංගත කිංස්ලි ප්‍රනාන්දු මහතාගේ දයාබර තරවටු කිරීම් වලට ද ලක්වුණි. ක්‍රීඩාවට සම්බන්ධ එම සුන්දර සිදුවීම් අදට ද මා මතකයේ පවතී.
ලසිත් මාලිංග යනු ක්‍රිකට් ක්‍රීඩාව තුළ සාම්ප්‍රදායික නොවන අනන්‍යතාවයක් සහිතව නව ඉතිහාසයක් බිහි කළ ක්‍රීඩකයෙකි. කඩුළු බිඳ දමමින් ප්‍රතිවාදියාගේ බලාපොරොත්තු බිඳ දැමූ ඔහු සැම විටම අප රටට බලාපොරොත්තුවක් ගෙන පැමිණි ක්‍රීඩකයෙකි. පසුගිය දිනක විජේරාම නිල නිවසට පැමිණි ලසිත් මාලිංග සමඟ ක්‍රීඩාව හා සම්බන්ධ පැරණි මතක සිහිපත් කරමින් සුහද පිළිසඳරක යෙදුණි. එහිදී අප අතර නොමැති වුවත් වෛද්‍ය එලියන්ත වයිට් මහතාව ද අප ගෞරවයෙන් සිහිපත් කළ බව කිව යුතුය. ලසිත් මාලිංග මහතා වර්තමානයේ ද ස්වේච්ඡාවෙන්, අපගේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට උපදෙස් ලබා දෙමින් වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ලද තම අත්දෑකීම් බෙදාගැනීම බෙහෙවින් අගය කරමි.
මුහුදින් වට වූ මෙරට දේශ සීමාව අතික්‍රමණය කරමින් සිංහ ධජය ඉහළටම ඔසවා අපගේ අනන්‍යතාවය ලෝකයට ගෙනයන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මම සෙනෙහසින් සිහිපත් කරමි."