WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මේ වසරේ පළමු මාස 07 තුළ ළමා ගැබ් ගැනීම් 44ක්

2025 September 04- Page Views : 1187

මේ වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම අධිකාරිය පෙන්වා දෙන්නේ, මේ වසරේ ජනවාරි පළමු වන දින සිට ජුලි මස 31 වන දින දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවය.

එම කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමුන් සම්බන්ධ පැමිනිලි 5,461ක් ලැබී ඇති අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතට අදාළ පැමිණිලි 4,501ක් සහ පනතට අදාළ නොවන පැමිණිලි 960ක් ඒ අතර වන බව සඳහන්ය.

මේ වසරේ පළමු මාස 7 තුළ ළමුන් බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 141ක් ලැබී ඇති අතර ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 330ක් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 32ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

අදාළ කාලය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වන අතර එම සංඛ්‍යාව 1,126ක් වේ.

ළමුන් සිගමනේ යෙදීම සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇති අතර ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් පැමිණිලි 82ක් ලැබී තිබේ.

මේ වසරේ ගත වූ පළමු මාස 7 තුළ ළමයින්ට එරෙහි සයිබර් හිංසන 81ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 10ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 63ක් ලැබී ඇති අතර ළමා විවාහ තුනක් සහ ගබ්සා කිරීම් එකක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.