දේශගුණික විපර්යාසවලින් පීඩාවට පත්වීම වළකාලමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට
2025 September 08- Page Views : 1187
දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා, හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශ්ව කිහිපයකට විරුද්ධව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
මෙම පෙත්සම පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම අද ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා රජයන් විසින් නිසි වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්වන බව පෙන්වා දුන්නා.
ජලගැලීම්, නියඟය, නාය යෑම්, ඇතුළු පාරිසරික විපර්යාසයන් නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ ජීවිත අහිමිවීම, වාසස්ථාන අහිමිවීම, රැකියා හිමිවීම ඇතුළු ව්‍යසනයන් රාශියකට මුහුණ දීමට සිදුවන බවත් ඔහු සඳහන් කළා.
මෙවන් දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් සකස් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මහජනතාවට මුහුණ දීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
දේශගුණ විපර්යාසයන් හේතුවෙන් සිදුවන ව්‍යසනයන් වැළැක්වීම සඳහා රජය විසින් විවිධ ජාත්‍යන්තර සම්මුතින්වලට එලඹ තිබෙන බව පෙන්වා දෙන නීතිඥවරයා ඒ යටතේ දේශගුණ විපර්යාසවලින් සිදුවන ව්‍යසනයන් අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටින බවත් පෙන්වා දුන්නා.
එහෙත් රජය විසින් ජාත්‍යන්තර සම්මුතීන් හරහා ඇති කරගෙන තිබෙන එකඟතාවන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවට නීතිඥවරයා චෝදනා කළ්.
මේ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය මාර්තු මස 13වනදා පැවැත්වීමට ද විනිසුරු මඩුල්ල විසින් දින නියම කළා.