ඇල්ලේ මාරක බස් අනතුරේ දී ජීවිත බේරාගත් රණවිරුවාට ඇගයීමක්
2025 September 19- Page Views : 1187
ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුර අවස්ථාවේ දී ජීවිත බේරාගැනීමට ඉදිරිපත්ව සිටි යුද හමුදා විශේෂ බළකා රණවිරුවාව ඇගයීමේ උත්සවයක් වැල්ලවායේ දී සිදුවුණි.
බස් අනතුර සිදුවු අවස්ථාවේ දී පළමුවෙන්ම බස් රථය පෙරළී තිබූ ප්‍රාපතයට බැස අනතුරට පත්වූ පිරිස බේරාගැනීමට ඉදිරිපත්ව තිබුණේ, යුද හමුදා විශේෂ බළකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්. එම්. වී. එම් බණ්ඩාර රණවිරුවාය.
වැල්ලවාය එක්සත් සුබ සාධක සංගමයේ සාමාජිකයින් විසින් මෙම ඇගයීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට රණවිරුවාගේ මව, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි සහ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. නිහාල් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එහිදී රණවිරුවාව අගයමින් සමරුවක් සහ ත්‍යාග කිහිපයක් ද ලබා දීමට කටයුතු කෙරුණි.
පුද්ගලයින් 16 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ මෙම බස් අනතුරේ දී තවත් පුද්ගලයින් 18 දෙනෙකු පමණ තුවාල ලැබීය.
බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී තිබුණි.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණි.
එහිදී බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලැබූ අතර, එයට ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්. එම්. වී. එම් බණ්ඩාර මහතා ද අයත් වේ.
කෙසේවෙතත් මේ වනවිට ඔහු තරමක සුවයක් ලබා රෝහලෙන් පිටව ගොස් සිටී.
ඔහු තුවාල ලබා රෝහලේ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පහතින් දැක්වේ.