ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
2025 October 01- Page Views : 1187
ළමා සහ වැඩිහිටි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධීන් වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැපවෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අදට යෙදෙන ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ යහපැවැත්ම වෙනුවෙන් රජය කටයුතු කරන බවයි.
දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම, ඔවුන්ගේ සිනහව මෙන්ම ප්‍රීතිය ජාතියේ බලාපොරොත්තුව බවත්, වැඩිහිටියන් මෙරට ප්‍රගමණය වෙනුවෙන් ලබා දුන් සහය ද ගෞරවයෙන් සිහිපත් කරන බව ජනාධිපතිවරයා සදහන් කළා.
මේ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රටේ ජීවය ළමා පරපුර බවයි.
එමෙන්ම දරුවන් වෙනුවෙන් සුවිශේෂ වගකීමක් රජයට පවතින බව ද ඇය සදහන් කළා.
එමෙන්ම, වැඩිහිටි ප්‍රජාවගේ නිරෝගී සුවය මෙන්ම ආරක්ෂාව ද තම ප්‍රාර්ථනය බවත් ඔවුන්ගේ මානසික යහපැවැත්ම මෙන්ම සෞඛ්‍ය පිළිබදව මෙන්ම ගෞරවනීය සමාජ වටපිටාවක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම රජයේ අරමුණ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් එක්කරමින් සදහන් කළේ ජාත්‍යන්තර ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වසරේ එකම දිනයක පැවැත්වීම අතිශයින් ම අර්ථාන්විත සැමරුමක් බවයි.
එම දිනයේදී ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ සුබ සිද්ධිය උදෙසා අප කළ යුතු දේ පිළිබදව පුළුල් සංවාදයකට යා යුතු බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවුඩයේ තවදුරටත් දැක්වෙනවා.
මේ අතර ලෝක ළමා දිනය සමරන අද වනවිට දරුවන් අතර පවතින විවිධ ගැටලු සහගත තත්වයන් රැසක් දක්නට ලැබෙනවා.
විවිධ මානසික තත්වයන්, කායික ගැටලු මෙන්ම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය නිසා දරුවන් මුහුණදෙන අභියෝගය ද අති මහත්.
විශේෂයෙන් නව යොවුන් වියේ දරුවන් මෙහිදී වැඩි අවධානමකට මුහුණ දී සිටිනවා.
මේ අතර වැඩිහිටියන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අද වැඩිහිටි දින සැමරුම වෙනුවෙන් එළිදැක්වෙන්නේ 2040 වනවිට මෙරට ජනගහනයෙන් 4 න් 1ක් වැඩිහිටියන් බවට පත්වන පසුබිමකයි.