හොර පාරේ ගෙන් වූ ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ තොගයක් මාලිගාවත්තේ
2025 October 03- Page Views : 1187
රේගු බදු නොගෙවා කටුනායක ගුවන්තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන, සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙමස්සිනාලා දෙදෙනෙකුද සිටින බව පොලීසිය පැවසීය.
සැකකරුවන් සතුව ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 26ක්, අයිපෑඩ් 10ක්, ටැබ් 10ක්, ලැප්ටොප් පරිගණක 3ක්, විවිධ වර්ගයේ සුවඳ විලවුන් තොගයක් සහ ශරීර ආලේපන තොගයක් තිබී සොයාගෙන ඇත.
මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.බී.එස්. කල්‍යාණතුංග මහතාට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත රම්‍යා ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුළ මෙම භාණ්ඩ තොගය තිබී සොයාගෙන තිබේ.
පසුගිය 30වනදා ඩුබායි වෙත ගොස් තිබූ මෙම සැකකරුවන් ඊයේ (2) යළිත් මෙරටට පැමිණීමේ දී මෙම භාණ්ඩ තොගයට නීතිවිරෝධීව මෙරටට රැගෙන පැමිණ ඇත.
අත්අඩංගුව ගත් සැකකරුවන් මාලිගාවත්ත සහ කොච්චිකඩේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, ඔවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන මාලිගාවත්ත පොලීසිය විසින් සිදුකරයි.