අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවේ
2025 October 10- Page Views : 1187
අතුරුදන්ව සිටි මහනුවර අංකුඹුරේ පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනාගේ මළ සිරුරු වික්ටෝරියා ජලාශයේ තිබී අද (10) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසනවා.
සිසුන් දෙදෙනා පෙරේදා (08) මහවැලි ගඟ අසබඩ ගැවසෙමින් සිටියදී අතුරුදන්ව තිබුණා.
ඔවුන් දියේ ගසාගෙන යන්නට ඇතැයි යන සැකය මත පොලීසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව වික්ටෝරියා ජලාශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.
මළ සිරුරු හමු වූයේ සිසුන් පදිංචි සිටි අංකුඹුර ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් හාරගම ප්‍රදේශයෙන් බව පොලීසිය පවසනවා.
වර්ෂා තත්ත්වයත් සමඟ පෙරේදා දිනයේ මහවැලි ගඟේ ජල මට්ටම අවස්ථා කිහිපයකදී වැඩිවූ බව ප්‍රදේශවාසීන් පවසනවා.
මෙලෙස මියගොස් තිබුණේ තැන්නේකුඹුර ප්‍රදේශයම පදිංචිකරුවන් වන මහනුවර නගරයේ පාසලක 09 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් හා මහනුවර නගරයේ පාසැලක 08 වසරේ ඉගෙනුම ලබන එම්.මිලාන් නමැති සිසුන් දෙදෙනෙක්.
මෙම සිසුන් දෙදෙනා පෙරේදා (08) දින පස්වරුවේ සුරතල් මසුන් මිලදී ගැනීම සඳහා දිගන ප්‍රදේශයට යන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් ඇති අතර පසුව කීප දෙනෙකුම දැක ඇත්තේ ඔවුන් දෙදෙනා තැන්නේකුඹුර පාලම යට මහවැලි ගංගාවේ ගල්තලාවක ඇවිදිමින් සිටි බවයි.
ප්‍රදේශයේ මසුන් මරන්නකු සඳහන් කළේ මෙම සිසුන් දෙදෙනා එම ගල්තලාව මත සිටියදී ඔවුනට ජලයට නොබසින ලෙස තමා අවවාද කළත් තමන්ට පිහිනීමට හැකි බව එම සිසුන් පැවසූ බවයි.
නමුත් මද වේලාවකින් බලනා විට සිසුන් දෙදෙනා එම ස්ථානයේ දක්නට නොලැබුණු බැවින් ඔවුන් ගල්තලාවෙන් ඉවතට ගිය බව සිතූ බවත් මඳ වේලාවකින් වර්ෂාව හේතුවෙන් මහවැලි ගංගාවේ ජලය වැඩි වූ බවත් හෙතෙම පවසා තිබුණා.