අනාරක්ෂිත ළිඳට වැටුණු තරුණයා ගොඩට ගන්න අසීරු මෙහෙයුමක්
2025 November 04- Page Views : 29
		 
		 
		 
		 කළුතර, දකුණ ගල්ලස්සේන ගුණතිලක වත්ත ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට ඇදවැටුණු තරුණයෙකු ගිනිනිවන භටයින්ගේ දැඩි පරිශ්‍රමයෙන් ගොඩට ගනු ලැබූවද ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
මෙසේ අනාරක්ෂිත ළිඳට වැටී ඇත්තේ, කළුතර දකුණ වෙනිවෙල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක් වූ ඉසුරු විදුශාන් නමැති විවාහක අයෙකි.
අනාරක්ෂිත ළිඳ ආසන්නයේ නිවසක සිටි පුද්ගලයෙකුට කිසියම් ශබ්දයක් ඇසුණු බවට ප්‍රදේශවාසීන්ට පැවසීමෙන් අනතුරුව ළිං පතුල පරීක්ෂා කිරීමේ දී කිසිදු පුද්ගලයෙක් ළිඳ තුළ දක්නට ලැබී නොමැත.
පසුව ළිඳේ ජලය ඉස කළුතර මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී ළිඳට වැටුණු තරුණයා ළිං පතුලේ සිටිය දී සොයාගෙන ඇත.
පැය එකහමාරක පමණ ළිං පතුලේ සිටි අදාළ තරුණයාව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ගිනිනිවන භටයින් විසින් ඉනිමඟක් ආධාරයෙන් ගොඩ ගෙන තිබුණි.
පසුව ගිලන්රථයක් මඟින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇතැයි වාර්තා වේ.
කළුතර ආපදා කළමනාකාර ඒකකයේ රාජකාරි කරන යුද හමුදා සෙබළුන් සහ කළුතර දකුණ පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද මෙම තරුණයාව ගොඩට ගැනීම සඳහා සහාය දක්වා ඇත.
මෙම තරුණයා මෙම අනාරක්ෂිත ලෙස ළිඳට වැටුණු ආකාරය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.