නැගෙනහිර පුරාවිද්‍යා පුවරු ගැලවූ, සභාපති අල්ලන්න පොලිස් කණ්ඩායම් 04 ක්
2025 November 25- Page Views : 11
මඩකලපුව, වාලච්චේන, කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මඟින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට ප්‍රදේශයෙන් පළාගොස් සිටින වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් ඇතුලු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා තිබෙනවා.
වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් අදාළ පුවරු ඉවත් කර තිබුණේ සිය ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ඒවා සවිකර ඇති බව පවසමින්.
මෙරට පුරාවිද්‍යා ස්ථාන දැකබලාගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා එම පුරාවිද්‍යා ස්ථාන පෙන්වන දිශා පුවරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේද සවිකර තිබුණේ පසුගිය 03 වැනිදා සිටයි.
කෙසේ වෙතත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන සහ පට්ටිපොළ පොලිස් බල ප්‍රදේශවල තිබූ පුරාවිද්‍යා දිශා පුවරු වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් ගලවා ඉවත් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාලච්චේන පොලිසියට පැමිණි කරනු ලැබුවා.
ඒ අනුව මෙලෙස පුරාවිද්‍යා පුවරු ගැලවූ සැකකරුවන් 07 දෙනෙකු හදුනාගෙන ඇති අතර, ඉන් එක් සැකකරුවෙකු ඊයේ කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම මෙලෙස ගලවා ඉවත් කර තිබූ නාම පුවරු 07ක් ද වලච්චේන - කෝරල්පත්තු ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ තිබී පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
සැකකරු 53 හැවිරිදි කිරාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් ඇතුලු සෙසු සැකකරුවන් 06 දෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.