බොනට්ටුවේ එල්ලී කාර් රථයක් නැවැත්තූ පී.සී. රෝහලේ: කි.මී එක හමාරක් දුර අරන් ගිහින්
2025 November 25- Page Views : 33
නිවිතිගල උඩ පෑබොටුව ප්‍රදේශයේදී දෙල්වල පොලිසිය විසින් කාර් රථයක් නතර කිරිමට යාමේදී එය පොලිස් අණ නොතකා ධාවනය කිරිම හේතුවෙන් එම කාර් රථයේ බොනට්ටුවේ එල්ලී කාර් රථය නතර කිරිමට උත්සාහ කළ පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කළ බව දෙල්වල පොලිසිය පවසනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙල්වල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයක්.
පොලිසියේ ස්ථානාධිපතිවරයා හා තවත් පොලිස් නිලධාරියකු පෑබොටුව දෙසට පොලිස් ජීප් රථයෙන් පැමිණ ඇති අතර එහිදි උඩ පෑබොටුව ප්‍රදේශයේ කඩයකින් එළියට පැමිණි පුද්ගලයකු දැක ඔහුට වරෙන්තුවක් පවතින බව ස්ථානාධිපතිවරයා එම නිලධාරියා විසින් දැනුවත් කර තිබෙනවා.
එහිදි කාර් රථය අසලට පැමිණ පුද්ගලයාට වාහනයෙන් බසින ලෙස පවසා ඇති අතර, එහිදි කාර් රථයේ සිටි පුද්ගලයා වාහනය ඉදිරියට ධාවනය කිරිමට පටන්ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදි පොලිස් නිලධාරියා කාර් රථයේ බොනට්ටුව මතට පැන නතර කිරිමට උත්සාහ කර ඇති බවත් එහෙත් කාර් රථය නොනවත්වා පොලිස් නිලධාරියා බොනට්ටුව මත තබාගෙන කිලෝ මීටර් එක හමාරක් (1 1/2) පමණ දුරක් රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
පසුව පොලිස් නිලධාරියා ඇද වැටී ඇති අතර කාර් රථය උඩ පෑබොටුව ප්‍රදේශයේ අතුරු මාර්ගයක නිවසක දමා පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලැබු පොලිස් නිලධාරියා ප්‍රතිකාර සදහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසනවා.
මෙම කාර් රථය නිවිතිගල ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරයකුට අයත් එකක් බවත් ඔහුට වරෙන්තුවක් පවතින බැවින් ඔහු අල්ලා ගැනීමට යාමේදී මෙම සිදුවීම සිදු වූ බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙල්වල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.