WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගැඹුරු අවපාතය දුර්වල වෙයි : පළාත් කිහිපයකට වැසි

2025 December 01- Page Views : 26

ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කන්කසන්තුරය සිට කිලෝමීටර් 300ක් ඊසාන දෙසින්, ආසන්න වශයෙන් අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම පද්ධතිය ඉදිරියේදී දිවයිනෙන් තවදුරටත් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ හේතුවෙන් අද (01) දිනයේ උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලත් මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම, ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වමින් නිකුත් කල අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

කළුතර සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත්, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.