නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි
2026 March 23- Page Views : 3
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි, ඖෂධ වර්ග සහ සුවඳ විලවුන් තොගයක් සමග දෙස් - විදෙස් ගුවන් මගීන් 05දෙනෙකු අද (23) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 70,460ක් සහ විවිධ වර්ගයේ ඖෂධ තොගයක් සහ සුවද විලවුන් තොගයක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
අදාළ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි දහසය ලක්ෂ හැත්තෑ දෙදහස් හයසියයක් පමණ වන බව ද වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු සිටින අතර, ඔවුන් මොරටුව සහ මහරගම ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයින් බව සඳහන්.
අනෙක් දෙදෙනා චීන ජාතිකයන් වන අතර එහි කාන්තාවක් ද සිටින බව වාර්තා වේ.
මෙම පිරිස අද (23) අලුයම හොංකොං සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස් - 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.