ඕස්ට්‍රේලියානු තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
2026 April 16- Page Views : 21
ඕස්ට්‍රේලියාවේ පවතින තෙල් පිරිපහදු දෙකෙන් එකක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්න හේතුවෙන් ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ එරට පෙට්‍රල් සැපයුම පිළිබඳ බිය තවදුරටත් උග්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඊයේ (15) මධ්‍යම රාත්‍රියට ආසන්නව, මෙල්බර්න් නුවරට නිරිත දෙසින් පිහිටි ජීලෝන්ග් (Geelong) හි පිහිටි විවා (Viva) සමාගමට අයත් කෝරියෝ (Corio) තෙල් පිරිපහදුවේ පිපිරීම් සහ ගිනිදැල් පිළිබඳ වාර්තා වීමත් සමග හදිසි සහන සේවා කණ්ඩායම් ඒ වෙත ගොස් තිබෙනවා.
මෙම පිරිපහදුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 50ක් සහ සමස්ත රටේ අවශ්‍යතාවයෙන් සියයට 10ක් නිපදවනු ලබන බව සඳහන්.
මෙයින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති වුවද, ගින්න තවදුරටත් ඇවිලෙමින් පවතින අතර ප්‍රදේශයේ වායුගෝලීය තත්ත්වය පිළිබඳව ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
පිරිපහදුව තවමත් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන අතර, ආරක්ෂිත පියවරක් ලෙස ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් නිෂ්පාදනය අඩු මට්ටමකින් පවත්වාගෙන යනු ලැබෙනවා.
කෙසේ වෙතත්, පෙට්‍රල් නිෂ්පාදනයට මෙයින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව එරට රජය අනතුරු අඟවා තිබෙනවා.
පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ඩීසල් මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, ජනතාව කලබලයෙන් ඉන්ධන රැස් කිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් පවතින බව වාර්තා වෙනවා.
එමෙන්ම ගුවන් යානා ඉන්ධන මිල ඉහළ යාම නිසා ගුවන් සමාගම් ද ඇතැම් සේවාවන් කප්පාදු කරමින් සිටින බවට සඳහන්.
මෙම ගින්නට හේතුව "උපකරණවල දෝෂයක්" බව වික්ටෝරියා ගිනි නිවන ඒකකය පවසන අතර, ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ද දන්වා තිබෙනවා.
මෙම පිරිපහදුව දිනකට තෙල් බැරල් 120,000ක් පමණ නිපදවන අතර, සේවකයන් 1,100කට වැඩි පිරිසක් එහි සේවය කරනවා.
විවා එනර්ජි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් වයිට් පවසන්නේ, නිෂ්පාදනයට වඩා අද දිනයේ ප්‍රමුඛතාවය වන්නේ එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි.
පෙට්‍රල් නිෂ්පාදන ඒකක දෙකකට ගින්නෙන් හානි සිදුව ඇති බවත්, අනෙක් ඒකකවලට හානි සිදුව නොමැති බවත්, ඔහු සඳහන් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාව ප්‍රධාන වශයෙන් සිංගප්පූරුව, දකුණු කොරියාව සහ මැලේසියාව වැනි රටවලින් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කරන බැවින්,, දේශීය ඉන්ධන අවශ්‍යතාවයට මෙයින් එල්ල වන බලපෑම සීමිත වනු ඇති බව විශේෂඥයෝ පවසනවා.
වික්ටෝරියා ඕස්ට්‍රේලියානු සේවක සංගමයේ ලේකම් රොනී හේඩන් පැවසුවේ, ගින්න හටගන්නා අවස්ථාවේ සේවකයන් 50ත් 100ත් අතර පිරිසක් එහි සිටි නමුත් ඔවුන් නිරුපද්‍රිතව ඉවත් කළ බවයි.
_බීබීසී_