UN මානව හිමිකම් මහ කොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ වෙයි
2026 July 25- Page Views : 13
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ධුරය දෙවන වර දැරීම සඳහා වන ඡන්දය වෝල්කර් ටර්ක් ජයගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් මස 11 වන දින නිල කාලය නිමා කිරීමට සිටි ඔහුගේ ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ වනු ඇත.
දෙවන වරටත් එම ධුරය දැරීම සඳහා පැවති මත විමසුම ඔහු වැඩි ඡන්ද 134කින් ජයගත්තේය.
අදාළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 144ක් පක්ෂව ඡන්දය භාවිත කළ අතර රටවල් 10ක් ඊට විරුද්ධ විය.
එමෙන්ම රටවල් 13ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් ජනපදය, ඊශ්‍රායලය, රුසියාව, උතුරු කොරියාව ඇතුළු තවත් රටවල් හයක් වෝල්කර් ටර්ක්ගේ නැවත තේරී පත්වීමට විරුද්ධ වූහ.
වෝල්කර් ටර්ක් තම දෙවන ධුර කාලය අවසන් කළහොත්, 1993දී එම තනතුර ඇති කිරීමෙන් අනතුරුව එවැනි ක්‍රියාවක් කළ පළමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඔහු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගාසා තීරයේ සහ මැදපෙරදිග කලාපයේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ගවලට දැඩි විවේචනයක් එල්ල කළ අයෙක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හඳුන්වාදිය හැකිය.