සැමියාගෙන් ලක්ෂ 50ක කප්පමක් ගන්න ඥාති නිවෙසක හැංගී සිටි බිරිය අත්අඩංගු වට
2022 December 19- Page Views : 9
සිය දියණියගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගත්තේ යැයි කියමින් දින කිහිපයක් තිස්සේ ඥාති නිවසක රැඳී සිටිමින් සැමියාගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ගැනීමට උත්සාහ ගත් බිරියක් ආණමඩුව පොලිසිය විසින් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාවගේ සැමියා විශ්‍රාමික මේජර්වරයෙකි. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇගේ වැඩිමහල් පුතා ද යුද හමුදාවේ සේවය කරයි. දෙවැන්තා දියණියකි. ඇය කුරුණෑගල පොලිසියේ සේවය කරන සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකාවකි. බාලයා යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත්ව විදෙස්ගත වීමේ අපේක්ෂාවෙන් සිටින්නෙකි.
ආණමඩුවේ තෙන්නංකුරියාවේ පදිංචිකාරියක් වන 51 වියැති ඇය පසුගිය 15 වෙනිදා උදෑසනම නිවසින් පිටත්ව ගොස් ඇත්තේ වාරියපොළ හංගමුවන පදිංචිව සිටින සිය දියණියගේ දරුවා බලන්නට යනවා යැයි කියාය. ඒ ගොස් සවස ඇය නැවත පැමිණෙන විට සිය සැමියාට දුරකතන ඇමතුමක් දෙමින් පවසා ඇත්තේ ආණමඩුවට කිට්ටු කර දුරකතන ඇමතුමක් දුන් විට බාල පුතාව තමාව රැගෙන යාමට ආණමඩුව නගරයට එවන ලෙසය. ඒ අනුව ඇය 5.10ට පමණ ඇමතුමක් දෙමින් පවසා ඇත්තේ තමා ආණමඩුව නගරයට පැමිණ සිටින බැවින් රැගෙන යාමට පැමිණෙන ලෙසය. ඒ අනුව ඇයව රැගෙන යාමට පැමිණ ඇත්තේ බාල පුතාය. ඒ ඇවිත් පරීක්ෂා කර බැලීමේදී මව සිට නැති අතර මවගේ ජංගම දුරකතනය ද තිබී ඇත්තේ ක්‍රියා විරහිත කරය. ඒ ගැන සැකයක් ඇති වූ බැවින් ඔහු සිය පියාට මේ ගැන කියා ආණමඩුව පොලිසියට ද ගොස් පැමිණිල්ලක් කර නිවසට ගොස් තිබේ.
එදින රාත්‍රියේදී ඇගේ දුරකතනයෙන් බාල පුතාට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ තමා ආණමඩුව නගරයේ රැඳී සිටියදී වෑන් රථයකින් පැමිණි සිවු දෙනෙක් තමාගේ මුහුණට ලේන්සුවක් වැනි යමක් ඇල්ලූ බවත් සිහිය එන විට තමා සිටියේ නිවසක කාමරයක් තුළ බවත්ය. තමාව නිදහස් කිරීමට නම් රුපියල් ලක්ෂ 50ක් ඉල්ලා සිටින බව ද ඇය කියා සිටියාය. එහිදී ඇය සිය පුතාගෙන් බැගෑපත් වෙමින් ඉල්ලා ඇත්තේ කප්පම් මුදල ගෙවා තමාව නිදහස් කර ගන්නා ලෙසය. එම මුදල තමාගේ බැංකු ගිණුමට දමන ලෙසත් බැංකු පාස් පොත තමාගේ අතේ තිබෙන බවත් ඇය පවසා ඇත. තවත් වරෙක ඇය දුරකතන ඇමතුමක් දෙමින් පවසා ඇත්තේ ඉඩමක් විකුණා හෝ මුදල් ලබා ගෙන තමාව බේරා ගන්නා ලෙසත් එසේ නොමැති වුවහොත් තමාව මරා දැමීමට මේ පිරිස සූදානම් වන බවත්ය.
මේ ගැන බාල පුතා සිය පියාට පැවසීමෙන් පසු ඔහු පොලිසියට පැමිණ දැනුම් දීමක් ද කර තිබේ. දිගින් දිගටම ඇමතුම් ලබා ගනිමින් කප්පම් මුදල රුපියල් ලක්ෂ 15 දක්වා අඩු කර ඇති අතර, 17 වෙනිදා පිරිමි පුද්ගලයෙක් විසින් ඇමතුමක් දෙමින් පවසා ඇත්තේ මුදල් නොලැබුණහොත් ඇයව මරා දමන බවය. මේ බව අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලිසිය දුරකතන ජාල පරීක්ෂාවක් කිරීමේදී හෙළි වන්නේ එදා ඇය ආණමඩුවට පැමිණ නැති බවත් කටුපොත පැත්තට ගමන් කර ඇති බවත්ය. දුරකතනය ඇති ස්ථානයේ පිහිටීම ගැන පවා මෙහිදී තොරතුරු ලබා ගත් පොලිසිය ඊයේ එම ස්ථානය වැටලීමේදී අනාවරණය වී ඇත්තේ ඇය සිය සහෝදරයාගේ නිවසේ රැඳී සිටිමින් මෙම රංගනයේ නිරතව සිට ඇති බවය. එම නිවැසියන්ට ඇය පවසා ඇත්තේ තමා ණය මුදලක් අරගෙන ඇති බැවින් ණයකාරයෝ නිවසට පැමිණ කරදර කරන බැවින් සතියකට නවාතැන් ගැනීමට එහි පැමිණි බවය.
ඇය එහි රැඳී සිටිමින් ඉතා සූක්ෂ්ම ලෙස නිවැසියන්ටත් හොරෙන් සිය සැමියාට දුරකතන ඇමතුම් දෙමින් කප්පම් මුදල ලබා ගැනීමට උත්සාහ දරා ඇති බව පොලිසිය කියයි. අවසාන දිනයේ කප්පම ඉල්ලා තර්ජනය කර ඇත්තේ ඇගේ ඉල්ලීමට අනුව ගවයන් බැඳීමට පැමිණි තරුණයෙකු විසින් බවද පොලිසිය කියයි. එම තරුණයා විසින් එම ඇමතුම ලබා දීම ප්‍රතික්ෂේප කළ විට ඇය බලහත්කාරයෙන්ම මෙන් ඔහුට දුරකතනය ලබා දෙමින් එම තර්ජනය කරවා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. සිය බාල පුතා විදෙස්ගත කිරීමට රැකියා නියෝජිතයෙකුට මුදල් ලබා දී ඇති බවත් ලක්ෂ හතහ මාරක මුදලක් ඒ වෙනුවෙන් ණය වී ඇති බැවින් එම ණය පියවීම සඳහා මුදල් රැස් කර ගැනීමට මෙම රංගනයේ ඇය නිරත වී සිට ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න, පුත්ලම කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් හේසිරි, සහකාර පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ආර්. හේමන්ත නන්ද බණ්ඩාර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ජයන්ත, පොලිස් සැරයන්වරුන් වන කුමාර (34208), හේරත් (37482), විරසේකර (17005), විජිත් (39027), කොස්තාපල්වරුන් වන වර්ණසූරිය (7674) යන නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදු කර තිබුණි.