WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උසස් පෙළට අවශ්‍ය රුපියල් 10,000ක මුදල පන්සලෙන් හෝ ඉල්ලන් එන්නැ යි පැවසූ කෑගල්ලේ විදුහල්පති

2022 December 22- Page Views : 1187

උසස් පෙළ අධ්‍යාපනය හැදෑවීමට ඇතුළු වීම සඳහා රුපියල් 10,000ක ගාස්තුව ලබා දීමට නො හැකි නම් පන්සලේ හාමුදුරුවන්ගෙන් හෝ අදාළ මුදල් රැගෙන එන්නැ යි සිසුවකුට පැවසූ විදුහල්පතිවරයකු පිළිබඳ කෑගල්ල අධ්‍යාපන කොට්ඨාසයෙන් වාර්තා වනවා.

කෑගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ජාතික පාසලක විදුහල්පතිවරයකු යි මෙසේ සිසුවකුට පවසා ඇත්තේ.

අදාළ ශිෂ්‍යයා පසු ගිය වර පැවති සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 1ක්, බී සාමාර්ථ 5ක් හා සී සාමාර්ථ 03ක් සහිත ව විභාගය සමත් වූ දක්ෂ සිසුවෙක්.

පසු ව මෙම ශිෂ්‍යයා අදාළ පාසලේ ම උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් ඒ සඳහා ඇතුළු වීමේ ගාස්තු ලෙස රුපියල් 10,000ක් ගෙවිය යුතු බවත් අදාළ විදුහලේ විදුහල්පතිවරයා මෙම සිසුවාට දැනුම් දී ඇති බව සඳහන්.

නමුත් අදාළ සිසුවාගේ දෙමව්පියන් අඩු ආදායම්ලාභීන් වීම හේතුවෙන් අදාළ ග්‍රාමයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් අඩු ආදායම්ලාභී බව තහවුරු කර ගත් ලියුමක් සිසුවාගේ දෙමව්පියන් විසින් ලබා ගෙන තිබෙනවා.

එම ලිපිය සිසුවා විසින් විදුහල්පතිවරයාට ඉදිරිපත් කළ ද විදුහල්පතිවරයා පවසා ඇත්තේ, පන්සලේ හාමුදුරුවන්ගෙන් හෝ අදාළ මුදල රැගෙන එන ලෙස යි.

විදුහල්පතිගේ කීමට අනුව අදාළ සිසුවා සිය ග්‍රාමයට අයත් විහාරස්ථානය වන කෑගල්ල ඔලගන්කන්ද සාම විහාරාධිපති හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය දිවෙල මහින්ද හිමියන්ට මෙම සිදුවීම පවසා තිබෙනවා.

පසු ව දිවෙල මහින්ද හිමියන් සිසුවාට පවසා ඇත්තේ, නැවත වතාවක් විදුහල්පතිවරයා හමු වී කරුණු කාරණා පවසන ලෙසත් එහිදී ද සුබවාදී ප්‍රතිචාරයක් නො ලැබුණොත් අදාළ මුදල තමන් වහන්සේ විසින් සිසුවාට ලබා දෙන බවත් ය.

මේ පිළිබඳ කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ව දැනුම්වත් වීමෙන් පසු ව පවසා ඇත්තේ, දරුවන්ගෙන් මුදල් අය කිරීම පිළිබඳ චක්‍රලේඛයක් මෙතෙක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කර නොමැති බව යි.

එසේ ම මේ ආකාරයට දරුවන්ගෙන් මුදල් අය කිරීම නීති විරෝධී බවත් මෙම පාසල ජාතික පාසලක් බවත් ඇය අවධාරණය කර තිබෙනවා.

මේ පිළිබඳ යම් සොයා බැලීමක් ද සිදු කරන බව යි අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.