පුතා මවට පිහියක් පෙන්වා ලක්ෂ 30ක රන් කොල්ලකාලා
2022 December 29- Page Views : 9
සිය මවට පිහියක් එල්ලකර බිය ගන්වා මවත් මෙහෙකාරියත් නිවෙසේ කාමරයක සිර කළ පුතෙක් රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ තොගයක් කොල්ලකා පලාගොස් තිබේ.
පන්නිපිටිය, දෙපානම වීර උයනේ නිවෙසක මෙම කොල්ලය සිදුව ඇත්තේ පෙරේදා (27) සවස බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මහරගම පොලිසිය සඳහන් කරයි. සැකකාර පුතා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින බැවින් මත්කුඩු පානය කිරීමට මුදල් සොයා ගැනීමට නොහැකි වූ තැන මෙසේ සිය මවට අයත් රන් භාණ්ඩ කොල්ලකා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. පවුම් 17.5ක රන් භාණ්ඩ මෙසේ කොල්ලකා ඇති බව සැකකරුගේ මව විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.
මෙම මව 61 වියැති තැනැත්තියකි. පුතා වයස අවුරුදු 30ක පමණ වූයෙකි. සැකකරුගේ පියා යුරෝපීය රටක රැකියාවක නිරතව සිටින බවද පොලිසිය කියයි.
සැකකරු සැඟවී සිටින බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසියේ අපරාධ අංශය විමර්ශන පවත්වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.