ධර්මාශෝකේ විදුහල්පතිනියගේ මුදල් ගැරිල්ලෙන් දෙමාපියන් කබළෙන් ළිපට - හඬපටත් එළියට
2023 January 14- Page Views : 9
උසස් පෙළ හැදෑරීමට නවකයින් ලෙස පාසලකට දරුවෙකු ඇතුළත් වන්නේ අසීමිත බලාපොරොත්තු රැසක් හිත් තුළ තබාගෙනයි.
එහෙත් ගුරු වෘත්තියට නුසුදුසු ඇත්තවුන් එම ක්ෂේත්‍රයට පත්වීම හේතුවෙන් බොහෝ පාසල්වල විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී අපට පුවත් වාර්තා වන ආකාරයක් දැකිය හැකිය.
එලෙස උසස් පෙළට පැමිණෙන දරුවන්ගෙන් පාසලේ සංවර්ධන කටයුතුවලට යැයි පවසමින් මුදල් ගරන අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ සුප්‍රසිද්ධ පාසලක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ප්‍රධාන පෙළේ ජාතික පාසලක් ලෙස ප්‍රසිද්ධ ධර්මාශෝක විද්‍යාලයට නවකයින් ලෙස උසස්පෙළ හැදෑරීමට පැමිණෙන දරුවන්ගේ දෙමාපියන්ගෙන් දරුවන් ලියාපදිංචි කරගැනීමේ දි රුපියල් 30,000ක මුදලක් පාසල් පරිපාලනය විසින් ලබා ගැනීමක් සිදු කරන ලද බවට බොහෝ දෙමාපියන් චෝදනා කර සිටිනවා.
දෙමාපියන් චෝදනා කරන්නේ, මෙම අනීතිකව සිදු කරන මුදල් ගැරිල්ල පාසලේ විදුහල්පතිනි සනෝජා ජයවික්‍රම ද දැනුවත් ව සිදු කරන බවයි.
එමෙන්ම සිදු කළ විමසීමක දී මෙම අසාධාරණයට ලක් වූ ඇතැම් දෙමාපියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයන්ට අනුව පෙනී යන්නේ විදුහල්පතිනිය විසින් පාසලේ විවිධ කටයුතුවලට යැයි පවසමින් තවත් මුදල් තොගයක් එකතු කර ඇති බවයි.
විද්‍යාලයේ ශබ්ද විකාශන යන්ත්‍රයේ ඇති අඩුපාඩු කියමින්, ඒ සඳහා ද එක් දරුවෙකුගෙන් රුපියල් 4000කට ආසන්න මුදලක් ද එක් කර ඇති බවයි.
එමෙන්ම ඊට අමතරව ද එම එක් දරුවෙකුගෙන් පාසලේ ඩෙස් පුටුවල තීන්ත ආලේප කිරීමට යැයි පවසා තවත් රුපියල් 2000ක් ද,තවත් පාසලේ සංවර්ධන කටයුතු කිහිපයකට යෙදවීමට යැයි කියමින්, රුපියල් 14920ක මුදලක් අය කරගත් බවයි මෙම ආසාධාරණයට ලක් වූ මවක් ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
මේ අතර, ධර්මාශෝක විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී ද මව්පියන්ගෙන් මුදල් විදුහල්පතිනිය විසින් ලබාගෙන ඇති බවට වන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව සිදු කළ සොයා බැලීමක දී හෙළි වූයේ සිය දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඇතැම් දෙමව්පියන් විසින් රුපියල් 150,000කට ආසන්න මුදලක් විදුහල්පතිනිය වෙත ලබා දී ඇති බවයි.
නමුත් ඒ සඳහා ද නිල ලිපියක් ඔවුන් මුදල් ලබා දුන්නේ කුමන කාරණයකට ද යන්න සඳහන් කරමින් පාසලෙන් නොලැබුණු බවත්, ඒ සඳහා ලැබුණු එකම ලිපිය වන්නේ, මුදල් විදුහල්පතිනියට දුන් පසු ඇයගේ අත්සනින් යුතුව පරණ දිනයක් යොදා, එම දෙමාපියන්ට ලිපියක් පමණක් ලබා දීමයි.
නමුත් මෙම මුදල් ද පාසලේ ව්‍යාපෘතියකට යොදවන බවක් විදුහල්පතිනිය නොකියූ බවයි එම දෙමාපියන් සඳහන් කළේ.
මෙලෙස දරුවන් පාසලට ඇතුළත් කිරීමේ දී පාසලේ සංවර්ධනය සඳහා දෙමාපියන් ලවා සිදු කරනු ලබන ව්‍යාපෘති ගැන හෝ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හෝ පාසල් සංවර්ධන සමිතිය හෝ නොදන්නා බවයි ප්‍රවෘත්ති සිදු කළ සොයා බැලීමේ දී අනාවරණය වූයේ.
මේ අතර, ධර්මාශෝක විද්‍යාලයේ පරිපාලනයේ මේ වනවිට දැඩි ව්‍යාකූලතාවක් මෙවැනි ක්‍රියා හේතුවෙන් ඇති වී ඇති බවත්, දෙමාපියන් ඊට විරුද්ධ ව ක්‍රියා කිරීමට උත්සාහ කිරීමේ දී පාසලේ විදුහල්පතිනියගෙන් අප්‍රසාදය එල්ල වන බවත් වාර්තා වනවා.
2020 වසරේ දී ධර්මාශෝක විද්‍යාලය තුළ අධ්‍යාපනික වටිනාකමක් සහිත කෞතුකාගාරයක් නාවික හමුදාව හා පාසල් ප්‍රජාව එක්ව ස්ථාපිත කළ ද, එය මේ වනවිට විදුහල්පතිනියගේ පෞද්ගලික පරිහරණයට නතු කරගෙන ඇතැයි දෙමාපියන් චෝදනා කරනවා.
මෙම පාසලේ ආදි ශිෂ්‍යයින් විසින් පාසල වෙනුවෙන් සිදු කරන ලද පරිත්‍යාග ආදි පාසලේ පැරණි මතක රැසක් අදාළ කෞතුකාගාරයේ තිබුණ ද, එහි ඇති උණු වතුර සහිත නාන කාමරය, වායු සමීකරණ කාමර ආදිය පවා විදුහල්පතිනිය විසින් පෞද්ගලික පරිහරණයට ගෙන ඇත්තේ, එය ඇයගේ පෞද්ගලික නිල නිවස බවට පත් කරගනිමින් බවට පාසල් ප්‍රජාව චෝදනා කරනවා.
මෙවන් තත්ත්වයක් හමුවේ ධර්මාශෝක විද්‍යාල ප්‍රජාව සිය දරුවාගේ පාසලේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලෙන් පසුවන මොහොතක, පසුගියදා පත්තරේ විස්තරේ (10) සිදු කළ අනාවරණයත් සමග කළබල වූ විදුහල්පතිනිය විසින් ආචාර්‍ය මණ්ඩලයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, තවදුරටත් උසස් පෙළ සිසුන් ඇතුළත් කරගැනීමේ දී කිසිදු මුදලක් අය කර නොගන්නා ලෙසයි.
රටේ මෙතරම් දැඩි ආර්ථික ගැටලු පවතින මොහොතක පවා,මතු පරපුර වෙනුවෙන් සිටින දරුවන්ගෙන් අධ්‍යාපනය ලැබීමට සහ සිය අධ්‍යාපන අයිතිය ලබා ගැනීමේ අයිතිය මුදල් ගෙවා ලබා ගැනීමට සිදු වීම කොතරම් ඛේදනීය ඉරණමක් ද ?
මෙම විද්‍යාලයේ විදුහල්පතිනියගේ සහ මීට අනුබල දෙන සියලු ම පාසල් පරිපාලනයේ කූඨ ක්‍රියාවන් ගුරු සේවයට හෝ කිසිදු වෘත්තියකට නුසුදුසු බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ මෙන්ම අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ අවධානය යොමු විය යුතු නොවේද ?