රඟපෑමට සමුදීලා මම ලංකාවෙන් යනවා
2023 February 07- Page Views : 26 නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන හර්ෂි රසාංගා කාටත් නොකියම පසුගියදා හදිසියේම විවාහ වුණා. ඇයගේ විවාහ ජීවිතය ගැන විස්තර දැනගන්න අපි හර්ෂි එක්ක කතා කළා...
හර්ෂි හදිස්සියේම විවාහ වුණේ ඇයි?
හදිසියේම විවාහ වුණා නෙවෙයි. මාස ගණනාවකට කලිනුයි අපි විවාහ වෙන්න ඕන කියලා තීරණය කළේ. විවාහ වෙනවා කියලා කලින් කිව්වාම අගයක් නැති නිසා අපි ඒ ගැන කිසිම මාධ්‍යයකින් ප්‍රසිද්ධ කළේ නැහැ.
විවාහ වෙන්න තරම් තාම වැඩි වයසක් නැහැ නේද?
මට වයස අවුරුදු 20යි. වයසින් අඩු වුණාට හැම දෙයක් ගැනම බුද්ධිමත්ව හිතන පරිණත භාවයක් මට තියෙනවා. ඒ නිසා විවාහ ජීවිතයක් පටන් ගන්න වයස මට ප්‍රශ්නයක් නැහැ.
ආදර කතාව ගැන හැමෝටම දැනගන්න කියමුද?
සැමියාගේ නම මහේන් අනුරාධ. ඔහු දෝහාවල පදිංචි කෙනෙක්. කටාර් ගුවන් සේවයේ රැකියාව කරන්නෙ. මහේන්ව මට හම්බ වුණේ අහස නිසාම තමයි. අහස ගැන මම ඉන්ස්ටග්‍රෑම් දාපු ඡායාරූපයකට මහේන් හරිම කලාත්මක අදහසක් පළ කරලා තිබුණා. ඒ අදහසත් එක්ක මට හිතුණා ඔහු හරි ලස්සන හදවතක් තියෙන කෙනෙක් කියලා. ඉතින් මමත් ඔහුගේ අදහසට ප්‍රතිචාර යොමුකළා. ඒ විදිහට තමයි අපේ ආදර කතාව පටන් ගත්තෙ.
සමාජ මාධ්‍ය තුළින් හඳුනාගත්ත කෙනෙක් එක්ක විවාහ වෙන්න බය හිතුණෙ නැද්ද?
එහෙම බයක් හිතුණෙ නැහැ. ඉන්ස්ටග්‍රෑම්වලින් අපි දැන අඳුරගෙන හම්බ වෙලා ආදර සම්බන්ධතාව පටන් ගත්තා. ඒ විදිහට සම්බන්ධතාව පවත්වගෙන යද්දි අපි දෙන්නාට තේරුණා විවාහයකට යන්න තරම් හොඳ ශක්තිමත් බැඳීමක් අපි අතර තියනවා කියලා. ඉතින් මේ ගැන අපේ දෙමව්පියන්ට කිව්වා. මහේන්ගේ වගේම මගේ දෙමව්පියන්ගේ ආශිර්වාදයත් අපේ සම්බන්ධයට ලැබුණා. ඒ හැමෝගෙම ආශිර්වාදය මැද්දෙ අපේ ආදරය විවාහයක් දක්වා රැගෙන ආවා.
බාධක ආවේ නැද්ද?
බාධක නැති ආදරයක් මේ ලෝකෙ තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. අපේ ආදරයටත් බාධක ගොඩක් ආවා. හැබැයි මහේනුයි, මමයි ඒවා විසඳාගෙන ලස්සනට අපේ අනාගතය ගොඩනගා ගත්තා.
පුංචි වයසකදි බිරිඳකගේ වගකීම දරන්න පුළුවන් කියලා හිතනවද?
ඇත්තටම බිරිඳක් වීම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. පවුල් ජීවිතය හොඳින් ගෙනියන්න නම් බිරිඳක් විදිහට ලොකු වගකීමක් දරන්න වෙනවා. ඒ වගේම විවාහ ජීවිතය ගතකරද්දි එක එක විදිහෙ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මේ හැමදේම කළමනාකරණය කරගෙන පවුල් ජීවිතය හොඳින් ගතකරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය මට තියෙන නිසයි මම විවාහ වෙන්න තීරණය කළේ.
හර්ෂි හැමදාම තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරපු කෙනෙක් නේද?
මම හොඳට ඇඳපැලඳලා ගත්ත ඡායාරූපයක් නිරුවතින් ඉන්න විදිහට වෙනස් කරලා සම්මුඛ සාකච්ඡාවකදී ලිංගිකත්වය ගැන කතා කරපු මගේ හඬපටයකට බද්ධ කරලා හදපු වීඩියෝවක් පහුගිය කාලෙ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරලා තිබුණා. ඒ වීඩියෝව දැකපු ගමන් මම කළේ මම ගත්ත ඇත්ත ඡායාරූපය සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරලා මගේ නිවරැදි භාවය වෙනුවෙන් පෙනී සිටියා. ඒ ගැන කම්පා වෙලා මානසිකව ඇදවැටුණේ නම් නැහැ.
විවාහයෙන් පස්සෙ රංගන ක්ෂේත්‍රයේ දිගටම රැඳෙනවද?
මම රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා සැමියා සමග දෝහාවල පදිංචියට යන්න තීරණය කළා. ඒ තීරණය ගත්තෙ විවාහ වුණු නිසා නම් නෙවෙයි. මගේ උසස් අධ්‍යාපන කටයුතු ගැනත් හිතලයි පිටරට පදිංචියට යන්නෙ. මේ දවස්වල හිරු ටීවී නාළිකාවෙ විකාශය වන ‘ළංවී’ ටෙලි නාට්‍යය තමයි මම රංගනයෙන් දායක වුණු අවසාන ටෙලි නාට්‍යය. ළංවී ටෙලි නාට්‍යයේ ඉතුරුවෙලා තියන දර්ශන ටික රූපගත කළාට පස්සෙ මම ලංකාවෙන් යනවා.
මේ තාක් දුර රංගන ක්ෂේත්‍රයේ ආපු ගමන ගැන මොකද හිතන්නෙ?
මම රඟපාපු චරිතවලට සාධාරණයක් ඉටුකරමින් රංගන ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ආවා කියලා මම හිතනවා. ඊර්ෂ්‍යාවට කරපු කැපිලි කෙටිලි වගේම ලිංගික අල්ලස් ඉල්ලා අයුතු යෝජනා ආපු වෙලාවලුත් තිබුණා. ඒ දේවල්වලට යට වෙන්නෙ නැතුව මම මගේ හැකියාවෙන් රංගන ශිල්පිනියක් විදිහට ස්ථාවරය ගොඩනගාගෙන ලබපු පන්නරය ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම රංගනයෙන් සමුගන්න කාලයේදිම මාව සුමති සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළිය විදිහට නිර්දේශ වෙලා තියනවා. ඒක මට ලැබුණු හොඳම සමුගැනීමේ තිළිණය කියලා මම හිතනවා.