ශාෆ්ටර් දිවි නසා ගත්තාද? ඝාතනය වුණාද? තීරණය කරන්න වෛද්‍ය වාර්ථා තවම අධිකරණයට ලැබිලා නැහැ... මහේස්ත්‍රාත්ගෙන් කොළඹ මහරෝහලට සිහි කැඳවීමක්...
2023 February 23- Page Views : 26 ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණ පරීක්ෂණ වාර්තාවේ ඇති පැටලිලි සහගත බව දුරු කර ගැනීම සඳහා ඔහුගේ මරණය සියදිවි හානි කර ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව තීරණයක් ගැනීමට පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය ලබන 27 වැනි දින නම් කරන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය ඊයේ (22දා) විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නාය.
ඊයේ දින අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණ නියෝග පරිදි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත නම් ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව මෙම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලය ජේයෂ්ඨත්වය පදනම් කරමින් නම් කරන බවට මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය. මියගිය දිනේෂ් ශාෆ්ටර් පසුගිය දෙසැම්බර් මස 15 වැනි දින සිදුවීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබූ අවස්ථාවේ ඇඳ ඉහපත් අංකය සහ එයට අදාළ අනුශාංගික වෛද්‍ය වාර්තා ඇතුළු සියලු වාර්තා වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය කොළඹ ජාතික මහ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නැවත සිහි කැඳවීමක් නිකුත් කළාය.
පසුගිය දින අධිකරණය මඟින් නිකුත් කරන ලද නියෝගය අනුව මේ වන තෙක් අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ලැබී නොමැති බැවින් කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නැවත සිහි කැඳවීමක් නිකුත් කරන බවට මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
ඒ අනුව මෙම නඩුව ලබන 27 වැනි දින නැවත කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.