“තමුන් ඇත්තම ඩොක්ටර් කෙනෙක් කියලා කියන්නේ කොහොමද? නගිනව පොලිසියට යන්න....“ පොලිස් වෙස්ගෙන, දොස්තර උස්සා කළ අමුතු වැඩේ !
2023 February 25- Page Views : 26 විශ්‍රාමික වෛද්‍යවරයකු හලාවත නගරයේදී පොලිස් වෙසින් පැහැරගෙන ගොස් වෙද නළාව කොල්ලකෑ සීසීටීවී සවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයකු හලාවත පොලිසිය විසින් පෙරේදා (23) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත, මැරවල, මල්වත්ත පාරේ පදිංචිකරුවකු වන රොහාන් නිලන්ත ප්‍රනාන්දු (51) නමැති අයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මේ පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් පැහැරගෙන ගොස් වෙද නළාව කොල්ලකා ඇත්තේ කළුතර පදිංචි, හලාවත රෝහලේ සේවයේ නිරතව සිටි විශ්‍රාමික වෛද්‍යවරයෙකි.
පොලිසිය පවසනුයේ මේ වෛද්‍යවරයා කිලිනොච්චියේ මිතුරකු මුණගැසීමට ගොස් පසුගිය 11 දා කොළඹ බලා එන අතරතුර හලාවතින් බැස ඇති බවයි. ඒ හලාවත සිටින තවත් මිතුරකු මුණගැසීමේ අපේක්ෂාවෙන් බව කියැවෙයි.
මේ වෛද්‍යවරයා බස් රථයෙන් බසින විට රෑ බෝ වී ඇත. එබැවින් ඔහුට මිතුරා සොයාගැනීමට ඉඩක් ලැබී නැත. ඒ අනුව ඔහු කොළඹ බලා ගමන් කිරීමේ අපේක්ෂාවෙන් තවරාන දුම්රිය ස්ථානයේ සිට හලාවත කොළඹ මාර්ගය දෙසට පාගමනින් ගමන් කරමින් සිට ඇත.
එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු ඔහු අසල යතුරුපැදිය නතර කර, තමා පොලිස් පරීක්ෂකවරයකු ලෙස හඳුන්වා දී ඇත.
අනතුරුව ඔහු වෛද්‍යවරයාගේ අනන්‍යතාව පරීක්ෂාකර බලා “තමුන් ඇත්තම ඩොක්ටර් කෙනෙක් කියල කියන්නේ කොහොමද? නගිනව පොලිසියට යන්න“ යි කියා ඉණෙහි තිබුණු පිස්තෝලයක්ද පෙන්වමින් තර්ජනය කර තිබේ.
බියට පත් වෛද්‍යවරයා යතුරුපැදියට නැඟී ඇති අතර, පොලිසියට ගෙන යනවා වෙනුවට ඔහුව රැගෙන ගොස් ඇත්තේ හලාවත රෝහලටය. හලාවත රෝහල් පොලිසියට වෛද්‍යවරයාද රැගෙන ගිය මේ පොලිස් පරීක්ෂක වෙසින් සිටි පුද්ගලයා රාත්‍රී රාජකාරියේ සිටි පොලිස් කොස්තාපල්වරයකු අමතා තමා පොලිස් පරීක්ෂකවරයකු ලෙස හඳුන්වා දෙමින් මේ පුද්ගලයා සැබෑ වෛද්‍යවරයෙක්දැයි තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පවසා තිබේ.
එහිදී පොලිස් කොස්තාපල්වරයා මේ පුද්ගලයාට ආචාර කරමින් “උදේට තමයි සර් චෙක් කරන්න වෙන්නේ. මේ මහ රෑ මේ වගේ දෙයක් චෙක් කරන්න විදිහක් නැහැ“ යි පවසා තිබේ. “කමක් නැහැ. මෙයාව මම පොලිසියට ගෙනියන්නම්” යි පවසමින් නැවතත් වෛද්‍යවරයා යතුරුපැදියේ නංවාගත් මේ පුද්ගලයා හලාවත බස් නැවතුම්පොළ වෙත ඔහු රැගෙන ගොස් “අපි මේ රෑ තිස්සේ ආරක්ෂාව ගැන බලනවා.
තමුන්ල අපිත් එක්ක සෙල්ලම් කරනවා දොස්තරගොල්ලො කියල” යි පවසමින් වෛද්‍යවරයා අත තිබුණු බෑගය පරීක්ෂා කර තිබේ. එම බෑගයේ වෙද නළාව තිබී ඇති අතර එය අතට ගන් පොලිස් පරීක්ෂක වෙස් ගත් පුද්ගලයා “නළාවත් තියාගෙනයි හැම තැනම යන්නේ. හිටපන්කෝ උඹට හොඳ වැඩක් කරන්නම්” යැයි කියමින් වෛද්‍යවරයාගේ ඡායාරූපයක් සිය ජංගම දුරකතනයෙන් ගෙන “දැන් තමුසේ යනවකෝ. හැබැයි තමුසේ කොහේ හිටියත් මම හොයාගෙන එනවා. දැන් තමුසෙගේ ෆෝටෝ එකක් මා ගාව තියෙනවා” යි පවසා වෛද්‍යවරයා මුදාහැර එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
මෙයින් බියට පත් වෛද්‍යවරයා මහ රෑම බස් රථයක නැඟී කොළඹට පැමිණ තමාට වූ අකරතැබ්බය ගැන පැමිණිල්ලක් කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ ඇති පොලිස්පති සහන මැදිරියටය.
ඒ පොලිස් නිලධාරියකු තමාට ගිනි අවියක් පෙන්වා ඉතා පහත් ආකාරයට සලකා වෙද නළාව මංකොල්ලකෑ බව කියමිනි. මේ පැමිණිල්ල පොලිස්පතිවරයා විසින් හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාට යොමු කරමින් දැනුම් දී ඇත්තේ පුළුල් විමර්ශනයක් මේ සම්බන්ධයෙන් පවත්වන ලෙසයි.
ඒ අනුව පොලිස් කණ්ඩායමක් වෛද්‍යවරයා මුණ ගැසී සියලු තොරතුරු විමසා බලා විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවකද නිරත වෙමිනි.
ඒ අනුව වෛද්‍යවරයාගේ වෙද නළාව කොල්ලකෑ පුද්ගලයා හඳුනාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍යවරයා තැන තැන රැගෙන යෑමට යොදාගත් යතුරුපැදිය සහ ඔහු ඉණෙහි ගසාගෙන සිටි පිස්තෝලයද සමඟිනි. එම පිස්තෝලය සැබෑ අවියකට බෙහෙවින් සමාන සෙල්ලම් පිස්තෝලයක් බව පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයා මෙසේ පොලිස් වෙස් ගෙන රාත්‍රී කාලයට මහ මඟ රැඳී සිටින පුද්ගලයන් බිය ගන්වමින් කොල්ලකෑම් කිරීම විනෝදාංශයක් කරගෙන සිටින්නකු බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත. මේ පුද්ගලයා හැසිරී ඇත්තේ සැබෑ පොලිස් නිලධාරියකු මෙන් වූ බැවින් රෝහල් පොලිසියේ කොස්තාපල්වරයාද රැවටී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටීම, මංකොල්ලකෑම, ගිනි අවියක් පෙන්වා බිය ගැන්වීම ආදි චෝදනා රැසක්ම මේ සැකකරුට එල්ල වන බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු හලාවත අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.