"මගේ රසිකයන් මගේ ගීතවලට, මගේ හැසිරීමට වගේම... මම අඳින පළඳින විදියට පවා ආදරය කරනවා.... ඒ ආදරය නිසා තමයි මම හැමදාම ජනප්‍රියම ගායිකාව වුණේ..." හදවත සනසන සොඳුරු හඬ, ශෂිකා නිසංසලා -
2023 February 25- Page Views : 26 මධුර ස්වරයකින් දෙසවන් නිවා සනහාලන ගේය කෞෂල්‍යයකට හිමිකම් කියන ඇය සැබැවින්ම නිහතමානී ගායිකාවකි.
පාරමිතා නොපුරමු, නිසංසල සඳක් වැනි ගීතවල නම් කියූ සැණින් කවුරුත් ඇයව හඳුනනවා. ඇය නමින් ශෂිකා නිසංසලා.
ප්‍රේක්‍ෂක ආදරය නොමඳව දිනා දිනාගත්ත ඇය යාවජීව යාවත්කාලීන ගායිකාවකි. ඇය ලබාගත් ජයග්‍රහණය සහ අනෙකුත් කලා කටයුතු පිළිබඳ කතා බහ කරන්නට ශෂිකා නිසංසලා සති අන්ත පුවත්පත් පිළිසඳරකට මේ විදියට එකතු වෙලා තිබුණා.
කොහොමද මේ දිනවල තොරතුරු?
මේ දිනවල සංගීත වැඩකටයුතුත් සමඟ කාලය ගෙවෙනවා.
මෑතකදී විදෙස් සංගීත සන්දර්ශනවලට ආරාධනා ලැබුණෙ නැද්ද?
ගිය වසරේ අවසානයේදීත් ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග හයකට සහභාගි වුණා. ඒ වගේම ඇමරිකාවේ ප්‍රසංග හතරකට සහභාගි වුණා. ඉදිරියටත් එවැනි ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඩුබායි, ඕමාන්, කැනඩා, නවසීලන්තය වැනි රටවලත් මෑතකදී ප්‍රසංග පවත්වන්න සූදානමින් ඉන්නවා.
‘සංකල්ප’ සජීවී ප්‍රසංගය පසුගිය දිනක පැවැත්වුණා. එයට ලැබුණු ප්‍රතිචාර මොනවගේද?
සංකල්ප කියන්නේ ගොඩක් කාලෙකට පසුව පිරිලා ඉතිරිලා ගිය ප්‍රේක්‍ෂකාගාරයක් තිබුණ ප්‍රසංගයක්. මිනිස්සු එය හරිම ආසාවෙන් රස වින්දා. තවත් විශේෂම දෙයක් තමයි මෙහි සංගීත අධ්‍යක්‍ෂණය සිදු කළේ ගොඩක් ළාබාල තරුණයෙක්. වයස අවුරුදු 23ක් පමණ වන පහන් සංදීප තමයි සංගීත අධ්‍යක්‍ෂණය කළේ. පහන් ඇතුළු වාදක මණ්ඩලය ඉතාම දක්‍ෂ පිරිසක්. ගායන ශිල්පීන් විධියට අපිත් සංගීතය විඳිමින් තමයි ගායනය කළේ. මෙම ප්‍රසංගය සංවිධානය කරපු අයටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනි. මොකද ධනංජය එදිරිසිංහ කියන මූර්ති ශිල්පියා අපගේ නිර්මාණයක් විදෙස් රටකට අරන් යනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙනුවෙන් තමයි මේ ප්‍රසංගය සංවිධානය කරලා තිබුණෙ. ඉතින් අපිට එයට දායක වෙන්න ලැබීම සතුටක්.
පසුගිය දිනවල ලංකාවේ පැවැති ගැටලුකාරී වාතාවරණයත් සමඟ සංගීත සන්දර්ශන පැවැත්වීම අඩාල වෙලා තිබුණා. වර්තමානය වන විට එම තත්ත්වය මොනවගේද?
මේ වන විට ලංකාවේ සෑම තැනකම ප්‍රසංග විශාල ප්‍රමාණයක් පැවැත්වෙනවා. ගෘහස්ථ ප්‍රසංග වගේම එළිමහන් ප්‍රසංගත් පැවැත්වෙනවා. සංගීත ප්‍රසංග වෘත්තිය කරගත් කලාකරුවන් රැසක් ලංකාවේ සිටිනවා. ඉතින් එයාලට මේක හොඳ කාලයක්. මේ තත්ත්වය දිගටම තිබුණොත් හොඳයි. සාමාන්‍ය ජනතාවටත් ආර්ථික වශයෙන් හොඳ කාලයක් ආවොත් තමයි සංගීත ප්‍රසංග සාර්ථක වෙන්නෙ.
හොඳ පද රචනාවලින් යුතු ගීත වර්තමානය වන විට අසන්නට ලැබෙන්නෙ නැහැ කියලා සමාජය තුළ මතයක් තිබෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
කාලෙන් කාලෙට එක එක වර්ගයේ ගීත බිහි වෙනවා. සුභාවිත ගීත වගේම ජනප්‍රිය පන්නයේ හෝ බටහිර පන්නයේ ගීත බිහි වෙනවා. පද රචනා ගීතයෙන් ගීතයට වෙනස් වෙනවා. රසික පිරිසත් විවිධයි. එයාලගෙ ගීත රස විඳීමේ රුචිකත්වය වෙනස්. රසිකයන් බාර ගන්න විධියට ඒ දේ වෙනස් වෙනවා.
නිහතමානී ගායිකාවක් විධියට සමාජයෙන් ඔබට ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?
හැම ප්‍රසංගයකදීම රසිකයන්ගේ ප්‍රතිචාර සජීවීව ලබන කෙනෙක් මම. මගේ රසිකයන්ගේ ආදරය මට සම්මාන විධියටත් ලැබිලා තිබෙනවා. 2016 වසරේ පටන් වසර 7ක් එක දිගට ජනප්‍රිය ගායිකාවට හිමි සම්මානය මට ලැබුණා. ගිය වසරේ තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානයත් මට ලැබෙනවා. මේ වන විට මට සම්මාන 23ක් ලැබිලා තිබෙනවා. මේ සම්මාන පිටුපස ඉන්න මට සවියක් වුණ හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සියලු මාධ්‍ය ආයතනවලටත් ඒ ස්තූතිය හිමි වෙන්න ඕනි. මගේ රසිකයන් මගේ ගීතවලට, මගේ හැසිරීමට වගේම මම අඳින පලඳින විධියට පවා ආදරය කරනවා. ඒ ආදරය නිසා තමයි මම හැමදාම ජනප්‍රියම ගායිකාව වුණේ.
ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
නිර්මාණ කිහිපයක් ඉදිරියේදී එන්න තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට එක ගීතයක් මම නිර්මාණය කරනවා. දැන් වසර එක හමාරක් පහු වෙලත් තාම ගීතයක් කරගන්න බැරි වුණා. මේ දිනවල හොඳ නිර්මාණයක් හොයමින් ඉන්නවා. ඒ අතරතුර යුග ගීතයකුත් නිර්මාණය වේවි. මෙම වසර තුළ අලුත් ගීත දෙකක් රසිකයන් අතරට රැගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.