ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 November 29- Page Views : 1873
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.
එහි ඇති රත්තරන් වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ වන බව (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 8300 ක් පමණ) එම කාර්යාංශය සඳහන් කළේය. මීට පෙර ලොව විශාලතම රන් නිධිය ලෙස දකුණු අප්‍රිකාවේ ගැඹුරු පතලකින් හමුවේ මෙට්‍රික් ටොන් 930 ක රන් නිධිය සැලකුණු බව පැවැසෙයි.
චීනය සතු නවීන ත්‍රිමාන තාක්ෂනය භාවිත කරමින් මෙම රන් නිධිය සොයා ගැනීමට හැකියාව ලැබුණු බවත් එහිදී ඩ්‍රිල් යන්ත්‍රය යොදා ගනිමින් විදිනු ලැබූ සෑම ගලකම පිරිසිඳු රත්තරන් හමුවූ බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළේය. එසේම එම රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරය දිව යන බවද එම කාර්යාංශය පැවැසුවේය.
මෙම රන් නිධිය සොයා ගැනීමට පෙර ලොව විශාලතම රන් නිධිය හමුවූ රටවල් 10 අතර පළමු ස්ථානය දකුණු අප්‍රිකාවටත්, දෙවැනි ස්ථානය ඉන්දුනීසියාවටත්, තෙවැනි ස්ථානය රුසියාවටත් ලැබී තිබිණි.