දේශබන්ධුට පාතාලයෙන් තර්ජන
2025 May 02- Page Views : 1187
තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
මෙම තර්ජනය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ වන විටත් පොලිසිය මගින් අනතුරු හඟවා ඇතැයිද දැන ගන්නට ඇත
උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉකුත් 29 දා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවසට ගොස් ඒ මහතා මුණගැසී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්ජි පානි ඉම්රන් නැමැත්තා ඔහුගේ සමීපතම සගයන්ට ඔහුව ඝාතනය කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වී ඇති බව දන්වා ඇති බවට ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම බුද්ධි නිලධාරින්ද එම තර්ජනය සම්බන්ධයෙන් ඒ පිළිබඳ සනාථ කරමින් වාර්තාවක් පොලිස් මූලස්ථානය වෙත මේන විටත් යොමු කර ඇතැයි ද වැඩි දුරටත් දැනගන්නට ඇත.
තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය පිළිබඳ තොරතුරු ඇතුළත් බුද්ධි අංශය මගින් වෙනම වාර්තාවක්ද පොලිස් මුලස්ථානය වෙත ලබා දී ඇති බවද වාර්තාවේ.