WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සෑම බිම් අඟලකින්ම ත්‍රස්තවාදය තුරන් කරන බවට ඉන්දියාවෙන් දැඩි ප්‍රකාශයක්

2025 May 02- Page Views : 32

ඉන්දියාවේ "සෑම අඟලකින්ම" ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසනවා.

    මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතින පසුබිමක ඊට සුදානම් විම සදහා දෙරටම යුද අභ්‍යාසවල නිරත වනවා. 

  කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතිනවා. 

  ඒ අනුව අඛණ්ඩව 8වැනි රාත්‍රියටත් ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර හමුදා පාලන සීමාව ආසන්නයේ දී දෙරටේ හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    පාකිස්ථානය එල්ල කළ වෙඩි ප්‍රහාරවලට ඉන්දීය හමුදාව සාර්ථකව ප්‍රතිචාර දැක්වූ බවද වාර්තා වනවා. 

  මේ අතර පවතින තත්ත්වයට ප්‍රතිචාර දැක්විම සඳහා පෙර සූදානමක් ලෙස පාකිස්ථානයට මායිම් වන මහාරාෂ්ට්‍ර සහ ගුජරාටයට ඔබ්බෙන් අරාබි මුහුදේදී යුද අභ්‍යාස පැවැත්වීමටද පාකිස්ථානය සැලසුම් කර තිබෙනවා.   

පාකිස්ථාන හමුදා ප්‍රධානී ජෙනරාල් සයිඩ් අසීම් මුනීර් විසින් එම අභ්‍යාස නිරීක්ෂණය කිරිමට කටයුතු කළා. 

  ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා නවදිල්ලි නුවර පැවති රැස්වීමකදී පැවසුවේ, රටේ "සෑම අඟලකින්ම" ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවයි.

    මේ අතර එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් පැවසුවේ කාශ්මීර ප්‍රහාරය අදාළව ඉන්දීයාවේ ප්‍රතිචාරය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය විම වළක්වා ගත යුතු බවයි.

    සියලුම පාකිස්ථාන ගුවන් යානාවලට සිය ගුවන් කලාපය වසා දැමීමට ඉන්දියාව ඊයේ පියවර ගෙන තිබූ අතර පාකිස්ථානය විසින්ද ඉන්දියානු ගුවන් සමාගම්වලට සිය ගුවන් කලාපය තහනම් කර තිබුණා.

    මේ හේතුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 600ක පමණ අලාභයක් සිදු විය හැකි බවට ගුවන් සමාගම් ඇස්තමේන්තු කර තිබෙනවා. 

  මෙම තත්වයට විසදුමක් ලෙස අදාළ ගුවන් සමාගම් විසින් සහනදායී වැඩපිළිවෙලක් ඉල්ලා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.   

මේ අතර පාකිස්ථානය විසින් සිය ගුවන් විදුලි නාලිකාවල ඉන්දීය ගීත ප්‍රචාරය කිරීම ද තහනම් කර ඇති බව සඳහන්.