විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් හදන්න තීරණය කර නෑ - නීතිපති කියයි
2025 May 08- Page Views : 1187
විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා විසින් මෙම දැනුම්දීම සිදු කළා.
එහිදී අදාළ අධිවේගී මාර්ගය ඉදි නොකරන බවට රජයේ පාර්ශය විසින් දැනුම් දීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමථයට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ එකග වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් කෙරුණා.
ඒ අනුව මෙම සමථය සටහන් කරගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමටද තීන්දු කළා. මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සංවිධානය සඳහන් කර තිබුණේ, විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වන බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබුණු බවයි.
එවැනි අධිවේගී මාර්ගයක් ඉදි කළහොත් එය හරහා අභයභූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන ආතර වන සතුන්ටද අනතුරු සිදුවිය හැකි බව පෙත්සමින් පෙන්වා දී තිබුණා.
ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.