WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දිවයින පුරා දන්සැල් 8,742ක් -

2025 May 12- Page Views : 1188

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ මහනගර සභාව ආශ්‍රිතව බව එම සංගමයේ  සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

දන්සැල් ලබාදීමේ දී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස ද උපුල් රෝහණ මහතා දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

මේ අතර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා තොරණ මෙන්ම විශාල පහන් කූඩු ද නිර්මාණය කර ඇති බව අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසයි.

සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තොරණ මෙන්ම විශාල පහන් කූඩු ද නිර්මාණය කර ඇති බව සඳහන්ය.

මේ අතර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

ඒ අනුව අද හෙට යන දෙදින තුළ කොළඹ කොටුව, ගාලු මුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 07සිට රථවාහන ගමනා ගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදුකිරීමට නියමිතව තිබේ.

වෙසක් කලාප පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දෙනු ඇත.

වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොලීසිය පැවසුවේය.

කෙසේවෙතත් රථවාහන තදබදය සාමන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සමාන්‍ය ලෙස ගමන් කරවීමට කටයුතු සලසන බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

මේ අතර වෙසක් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

එම පිරිස අතර කාන්තා රැඳවියන් 04 දෙනෙකු හා පිරිමි රැදවියන් 384 දෙනෙකු සිටින බව ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේය.

මේ අතර වෙසක් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ සඳහා අද සහ හෙට යන දෙදින තුළ විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.