දෙල් කඩන්න ගිහින් විදුලිසැර වැදිලා
2025 May 19- Page Views : 1188
දෙල් ගසකට නැගි පුද්ගලයෙකු අධි බල විදුලි සැර වැදී මියගිය බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ ලී අලෙවි වෙළඳසැලක කම්කරුවෙකු ලෙස සේවය කරන ලිදුල මැග්ඩාශ් වත්ත පදිංචිව සිටි මුතු කුමාර් 38 එක්දරු පියෙකි.
මියගිය පුද්ගලයා ලී අලෙවි වෙළඳසැලේ සේවය කරන රියදුරෙකු සමඟ දෙල්ගෙඩි කැඩීමට පැමිණ යකඩ පයිප්පයකට යකඩ කූරක් ගැටගසා දෙල් ගසට නැග තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දෙල් ගෙඩි කීපයක් කඩා බිම පතිත කිරීමෙන් අනතුරුව එම දෙල් ගසට ආසන්නව තිබෙන වෝල්ට් 33000 අධිබලැති විදුලි රැහැන් අතර විහිදී තිබෙන දෙල් අතු අතර තිබෙන ගෙඩි කැඩීම සඳහා දෙල් ගසේ අඩි විස්සක් පමණ උඩට ගොස් ගෙඩි කැඩීමට සූදානම් වීමේදී අත දරා සිටින යකඩ පයිප්පය හරහා විදුලිය කාන්දු වී ශරීරයට වැදි ගසෙන් බිමට වැටී තිබූ බව පොලිසිය කියයි.