ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවුඩය
2026 May 30- Page Views : 14
වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ සංස්පර්ෂය අප ජීවිත අලෝකමත් කර ගැනීමට ඉවහල් කර ගත යුතු වකවාණුවක අප සැවොම ජිවත් වන බව වෙසක් දින පණිවුඩය යොමුකරමින් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ දන්වා සිටී. හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ ඤාණමය ආලෝකයෙන් ස්වජිවිත ප්‍රභාමත් කර ගැනීමෙහිලා වීර්යවන්ත වීම උතුම් සම්බුදු තෙමඟුල නිවැරදිව අර්ථවත් කිරීම බව උන් වහන්සේලා මෙහිදී අවධාරණය කර තිබේ. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම වෙසක් දින ආශීර්වාද පණිවුඩය නිකුත් කර ඇත. ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවුඩය ශ්‍රී ගෞතම සම්මා සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ධර්මාර්ථ චර්යාවෙහි යෙදෙන උතුම් ශ්‍රී වෛශාඛ්‍ය මංගල්‍යය සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ අනුස්මරණියතම පුණෝත්සව දිනයයි. මෙදින ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් ප්‍රේරිතව අපරිමිත තථාගත ගුණකදම්භයන් අනුස්මරණය කරමින් ශ්‍රී සද්ධර්මයේ සංස්පර්ශයෙන් ජිවිත අලෝකමත් කර ගැනීමට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීම සැදැහැති ලෝක වාසී බෞද්ධ ජනයාගේ සිරිතයි. හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇති වීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ ඤාණමය ආලෝකයෙන් ස්වජිවිත ප්‍රභාමත් කර ගැනීමෙහිලා වීර්යවන්ත වීම උතුම් සම්බුදු තෙමඟුල නිවැරදිව අර්ථවත් කිරීම බව මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු. වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ සංස්පර්ෂය අප ජිවිත අලෝකමත් කර ගැනීමට ඉවහල් කර ගත යුතු වකවාණුවක අපි සැවොම ජිවත් වන බව නොරහසකි. අද්‍යතනය වන විට ඇති වී ඇති බල ශක්ති අර්බුදය ඇතුළු ලාංකේය සමාජ විචල්‍යතාවන් ද මනාව හඳුනාගෙන ඡන්දය, ද්වේශය, භය, මෝහය යන සතර අගතීන්ගෙන් වියුක්තව මෙත්තා, කරුණා මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සුපෝෂිතව ප්‍රතිපත්ති පූජාවෙහිලා ප්‍රමුඛත්වය ලබා දෙමින් ස්වර්ථ - පරාර්ථ සාධනයෙහිලා තත්පරව කටයුතු කිරීමට සමස්ත ලක්වාසීන් මෙම වෙසක් පුන් පොහෝ දිනයේ අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය.