මාදු ගඟේදී ඔරුවකට කිඹුල් ප්‍රහාරයක් - අයෙක් මරුට
2026 June 26- Page Views : 2
මාදු ගඟේ ඔරුවක ආධාරයෙන් මසුන් අල්ලමින් සිටි මිතුරන් දෙදෙනෙකුට එල්ල වූ කිඹුල් ප්‍රහාරයකින් ඔරුව පෙරළී, එක් පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයට අයත් මාදු ගඟ තීරයේදී ඊයේ (25) උදෑසන මෙම අනතුර සිදුව ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, වතුගෙදර ප්‍රදේශයේ පදිංචි අයෙකු සිය මිතුරෙකු ද සමග ඔරුවකින් මාදු ගඟේ මසුන් ඇල්ලීම සඳහා ගොස් තිබේ.
ඔවුන් මසුන් අල්ලමින් සිටි අවස්ථාවේදී එකවර කිඹුලෙකු ඔවුන් ගමන් කළ ඔරුවට ප්‍රහාරයක් එල්ලකර ඇති බව සඳහන්ය.
ප්‍රහාරයෙන් ඔරුව පෙරළී ඇති අතර, එහිදී එක් අයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 32 හැවිරිදි වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.