WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආරක්ෂිතව කටුනායකට ගොඩබැස්වූ තුර්කි යානය ගැන අලුත්ම කතාව

2025 December 17- Page Views : 11

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කළ තුර්කි ගුවන් යානය හෙට (18) රාත්‍රී 10.00ට මෙරටින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යෑමට සැලසුම් කර තිබේ.

තුර්කි ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය ඒ බව වාර්තා කර ඇත. 

කෙසේවෙතත් මේ වනවිට ගුවන් යානයේ නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (16) කටුනායක සිට තුර්කියේ, ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම යානයෙහි ගුවන් නියමුවා කටයුතු කර තිබුණි.

එම ගුවන්යානය අද (17) අලුයම 12:17 පමණ එලෙස යළි ගොඩබැස්වීම සිදුකළේය.

තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් මගීන් 202ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සමඟ ඊයේ  රාත්‍රී 10.00ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව, හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4,000ක පමණ උසකින් නොට්ස් 140ක පමණ වේගයකින් පියාසර කරමින්, ගුවන් යානයෙහි වූ ඉන්ධන, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කර ගනිමින්, ඉතිරි සියල්ල මුහුදට ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

මේ සඳහා පැය දෙකකට අධික කාලයක් මෙම ගුවන් නියමුවා විසින් ගත කර තිබු අතර මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A- 330 එයාර් බස් වර්ගයේ විශාලතම මගී ගුවන් යානයක් බව සඳහන්ය.

ඒ අනුව අද අලුයම 12.17ට මෙම ගුවන් යානය ආරක්ෂිත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙම ගුවන් යානයෙහි නියමුවා සමත් වී තිබුණි.

එහෙත් මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ ගිලන් රථ, ගිනි නිවීම් රථ, වෛද්‍ය කාර්යය මණ්ඩල, ගලවා ගැනීමේ භටයන් මෙන්ම මීගමුව කළපුව තුළ ද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ භටයන් ස්ථාපිත කර තිබුණි.

ගුවන් යානයෙහි වූ මගීන් යානයෙන් ආරක්ෂිතව ඉවත් කර ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගෙන තිබුණි.