WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පහේ කල්ලියක් දෙදරු පියා මරා ටිපරය පැහැර ගනිති

2025 December 18- Page Views : 10

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදි  ටිපර් රථ රියදුරුගේ අත්පා හා මුඛය ගැටගසා ඝාතනය කර ටිපර් රථ‍ය පැහැරගෙන අලෙවි කිරීමට සැලසුම් කළ පස්දෙනකු සැකපිට අද (18)  අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව පදිංචිව සිටි 29 වියති දෙදරු පියකු, වන එච්.ජී තුෂාර සඳුන් යන අය බව පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය පවසයි.

අරලගංවිල ප්‍රදේශයෙන් පැට වූ වැලි කියුබ් 03 ක් කුලියාපිටිය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ  (17)  අලුයම මනම්පිටිය කොටලීය ප්‍රදේශයේදී ටිපර් රථය පැහැරගෙන රියදුරු ඝාතනය කොට, ටිපරයේ තිබූ වැලි මනම්පිටිය වනජීවී කාර්යාල අසල හලා එම ටිපරය කදුරුවෙල දක්වා රැගෙන ගොස් නවතා තිබේ.

ඒ අනුව බිරිද, ස්වාමියාට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර ඊට ප්‍රතිචාර නොදැක්කු නිසා මේ පිළිබඳ බිරිඳ පොළොන්නරුව පොලිසියට පැමිණිලි කර ඇත.

මීට අමතරව ටිපර් රථයේ හිමිකරුද මේ පිළිබඳ පොළොන්නරුව පොලිසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව ටිපර් රථයේ සවිකර තිබූ ජී.පී.එස් තාක්ෂණය අනුව පොළොන්නරුව හා මනම්පිටිය පොලිසිය, වනජීවී නිලධාරින්ද එක්ව මනම්පිටිය කොටලීය ප්‍රදේශයේ රියැදුරු සොයා මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

එහිදි කට, අත්පා, ලණුවලින් ගැටගසා, මරා දමා තිබූ රියැදුරුගේ සිරුර මනම්පිටිය කොටලීය පාලමට නුදුරින් ලඳු කැලෑවක තිබි සොයා ගැනීමට හැකි වූ බව පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී.පතිරණ මහතා අප කළ විමසීමකදී පැවසීය.