නාය යාමක බිහිසුණු අත්දැකීම හැඬූ කඳුළින් විස්තර කළ අයුරු
2025 December 18- Page Views : 10
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් සිය ගණනකට දිවි අහිමි වූ අතර, තවත් සිය ගණනකට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.
මව්පියන්ට දරුවනුත්, දරුවන්ට මව්පියනුත් අහිමි කළ මෙම ඛේදවාචකය බොහෝ දෙනෙකුට අදටත් අමතක කළ නොහැකි අමිහිරි මතක පමණක් ඉතිරි කර තිබෙනවා.
ඒ අමිහිරි අත්දැකීමට මුහුණ දෙමින් හාස්කමකින් මෙන් දිවි ගලවාගත් පවුලක් පිළිබඳ තොරතුරු බදුල්ල වියලුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.
දරුවන් දෙදෙනෙක් සමග පැය ගණනක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ ඔවුන්, තමන් මුහුණ දුන් එම අත්දැකීම පැවසුවා.
දරුණු වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය 27 වැනිදා පස්වරුවේ පොල්ගහඅරාව ගම්මානයට ඉහළින් වූ කොහාන කඳුවැටියත් එක්වරම පහළට කඩා හැලුනේ දැවැන්ත ගල් පර්වත මෙන්ම, ගහකොළද පෙරළා දමමින්.
එම නායයෑමෙන් නිවාස කිහිපයකටම හානි වූ අතර, එම නිවෙස් තුළ වාසය කළ අට දෙනෙකු ද නාය ගිය පස්කන්ද රැගෙන ගියා.
‘‘සිද්ධිය වුණේ විසිහත් වෙනිදා. එදා උදේ ඉඳන්ම නොකඩවාම වැස්ස තිබුණා. දරුවෝ දෙන්නයි මායි මගේ බිරිඳයි එයාගෙ අම්මයි අපි පස් දෙනෙක් එදා ගෙදර හිටියා. මේ සිද්ධිය වෙනකොට හවස තුන හමාරට විතර ඇති. අපි හිටියෙ ගෙදර ඉස්තෝප්පුවේ. එක පාරටම මිදුලේ වතුර පාරක් යනවා දැක්කා. වතුර වැඩි වුණා. කවදාවත් එහෙම වෙලා නෑ. බලද්දී උඩින් විශාල වතුර පාරක් එනවා.
නිවසට ජල පහර කඩා වැදීමත් සමග එම යුවල සිය දරුවන් දෙදෙනාත්, වයෝවෘධ මවත් රැගෙන මහ වැස්සේම නිවසට ඉහළින් වූ ගලක් මතට ගොඩවී තිබුණේ එම ස්ථානය ආරක්ෂිත යැයි සිතමින්.
ගෙට වතුර ගහන හින්දා අපි ගිහිල්ලා ගේ ළඟ තිබුණ ගලකට ගොඩ වුණා. ටික වෙලාවක් යද්දි ගල පැත්තකට ඇලවුණා . අපි ලිස්සල වැටුණා. ආයෙත් ගොඩට ආවා. අපේ වැසිකිළිය තිබුණ තැන ආරක්ෂිතයි කියල එතෙන්ට ගියා. එතනත් යට වුණා. ඔය වෙද්දි ගස් ගල් ගලවාගෙන පහළට වතුර පාර වේගයෙන් එනවා දැක්කා. දෙපැත්තෙම තියෙන කඳුරු වතුරෙන් යටවුණා.
අපේ වත්තේ තවත් ගලක් තිබුණා. ඒ ගල තියෙන තැන ආරක්ෂිත හින්දා එතෙන්ට ගිහිල්ලා ඒ ගලට මුවා වෙලා බලාගෙන හිටියා. වැස්සත් වහිනවා. හැම පැත්තෙන්ම මඩ වතුර ගලාගෙන යනවා. දරුවෝ දෙන්නා හොඳටම බය වෙලා අඬනවා. සීතලේ ඒ දෙන්න වෙව්ලනවා. අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි හයියෙන් හූ කියන්නයි කෑ ගහන්නයි පටන් ගත්තා. වැස්සයි වතුර සද්දෙයි නිසා කාටවත් ඇහෙන්නේ නැහැ. පැය එක හමහාරක් විතර අපි මෙහෙම හිටියා.අපි ගහගෙන යයි කියලමයි හිතුණේ.
පැය දෙකක පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වු ඔවුන්, උදව් ඉල්ලා කෑ ගසද්දී එම ස්ථානයට පැමිණි ගම්වාසීන් පිරිසක් ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත්ව තිබුණා.
ගමේ අය කීප දෙනෙක් ආවා. හැබැයි ඒ අයට අපි ඉන්න තැනට එන්න විදිහක් නෑ. දෙපැත්තම වතුරෙන් යට වෙලා. වටපිට බලද්දි අපේ ගේ රෙදි වැලක් තිබුණා. ඒ කඹේ අරගෙන අපි වත්තේ ඉතුරු වෙලා තිබ්බ එකම එක නංචි ගහේ ඒක ගැටගහලා එහා පැත්තට විසි කළා. එහා පැත්තේ ඉන්න අය කඹේ හයියෙන් අල්ලගෙන ඉද්දි කරවටක් ගිලෙමින් මං දරුවෝ දෙන්නා ඉස්සෙල්ලම එහා පැත්තට අරන් ගියා. ඊට පස්සේ අම්මා. බිරිඳයි මායි යන්ඩ යද්දි ආයෙත් වතුර වැඩි වුණා. අපි දෙන්න ගහගෙන යන්න ගියා.
මම යන්න යද්දි එක පාරම වතුර පාර වැඩිවෙලා මං ගහගෙන යන්න ගියා. කඹේ ලිස්සුවා. මහත්තයා මාව අල්ලගත්තා. මගේ නහය ළඟටම වතුරෙන් යට වුණා. උඩට ඇවිල්ල බලද්දි මගේ නහයෙ කටේ ඔළුවේ මඩ. මොකක් හරි හාස්කමකින් වගේ තමයි අපි බේරුණේ. ගමේ අය නොහිටින්න අපිට එන්න විදිහක් නෑ.
සිදුවු නාය යෑමෙන් ඔවුන්ගේ නිවසට දැඩි හානි සිදුව ඇති අතර, අද වනවිටත් ඔවුන් වාසය කරන්නේ සුරක්ෂිත මධ්‍යස්ථානයක් තුළයි.
ඇත්තටම දැන් අපිට ඉන්න තැනක් නෑ. ගෙයක් හදා ගන්න ඉඩමක් නෑ. දරුවෝ ඉස්කෝලේ යවාගන්න ඕනේ. දුව තුන වසරේ ඉන්නේ. පොතක් පතක් නෑ. අපිට කවුරු හරි උදව් කරනවා නම් ලොකු පිනක්. දරුවා පාසල් යවන එක තමා ලොකුම ප්‍රශ්නේ.''