WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කලා අඹර එළිය කළ සතිස් සඳ දහසක් සෝ සුසුම් මැද දැයෙන් සමුගනී

2025 December 26- Page Views : 11

දශක 06කට ආසන්න කාලයක් මෙරට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ සිය රංග මුද්‍රාව නොමැකෙන ලෙස සටහන් කළ අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (25) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

දශක 6කට ආසන්න කාලයක් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ සිය රංග මුද්‍රාවේ අනන්‍යතාව සටහන් කළ ප්‍රවීණ රංගධර සතිස්චන්ද්‍ර එදිරිසිංහ පසුගිය 22 වැනිදා දිවි ගමනින් සමුගත්තා.

සතිස්චන්ද්‍රයන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය,කලාකරුවන්, දේශපාලඥයින් ඇතුලු ඔහුට ආදරය කළ රසික ජනතාව ඔහුගේ නිවස වෙත පැමිණි අතර ජනාධිපති අනුර කුමාර දිසානායකද සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද සතිස්චන්ද්‍රයන් වෙත අවසන් ගෞරව දැක්වූවා.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ වෙනුවෙන් පාංශුකූලය දී ආගමික වතාවත් අද පෙරවරුවේ සිදු කෙරුණු අතර, අවමංගල උත්සවය බොරැල්ල පොදු සුසාන භූමියේදී පැවැත්වුණා.

අනතුරුව සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය ආදාහනය කෙරුණේ මේ කෘතහස්ත කලාවේදියාට ගෞරව කළ බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මධ්‍යයේයි.

මෙරට සුවහසක් ප්‍රේක්ෂක ජනතාව සිය අසමාන රංගන ප්‍රතිභාවෙන් වසර ගණනාවක් ආමන්ත්‍රණය කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහ රංගන වේදියාගේ නාමය ඔබ අප කාගේත් සිත් තුළ සදා නොමැකෙන මතකයක් වනු නොඅනුමානයි.