WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෙන්නප්පුවේදී විස මත්පැන් පානය කළ 07ක් තවදුරටත් රෝහලේ : නිෂ්පාදකයා ප්‍රදේශයෙන් පළායයි

2026 January 07- Page Views : 15

වෙන්නප්පුව - වයික්කාල, තඹරවිල ප්‍රදේශයේ විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් රෝගී තත්ත්වයට පත්වූ පුද්ගලයින් 07 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව වෙන්නප්පුව පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධියෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගිය අතර ඔවුන් අවුරුදු 28ත් 57ත් අතර වයස්වල පසුවන්නන්.

මෙම විෂ මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුගේ බිරිඳ ඊයේ දංකොටුව - ගෝනවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස අත්අඩංගුවට ගත් අනෙක් කාන්තාව මෙම මත්පැන් විකිණීම් කළ තැනැත්තියයි.

වෙන්නප්පුව පොලිසිය සඳහන් කළේ මෙම මත්පැන් නිෂ්පාදනය කර ඇත්තේ ටිනර් තිබූ බැරලයක බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

විෂ මත්පැන් පානය කළ බවට සැකකරන පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබූ බවට වාර්තා වූයේ ඊයේ දිනයේයි.

ඉන් දෙදෙනෙකු තමන් සේවය කරන සේවා ස්ථානයේ නේවාසික කාමර තුළදී මියගොස් සිටි අතර, එක් අයෙකු ඔහුගේ නිවස තුළදී මියගොස් තිබුණා.

තවත් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

මොවුන් අනුරාධපුරය, වයික්කාල, ඩයගම, මාපලගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම මරණ සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ විසින් සිදු කරන ලද අතර, ඔහුගේ නියමය පරිදි මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හලාවත මහා රෝහලේදී අද සිදු කිරීමට නියමිතයි.