දිට්වා නිසා නිවසක හානිය 65% ඉක්මවයි නම් වන්දිය ලක්ෂ 50ක් : චක්‍රලේඛය නිකුත් වේ
2026 January 09- Page Views : 34
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැන නැගුණු ආපදා තත්ත්වයෙන් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය සහ නැවත ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50 (රු. 5,000,000/-) දක්වා දීමනා ලබාදීමට තීරණය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නව මාර්ගෝපදේශයන්ට අනුව, 2025 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිදු වූ නිවාස හානි මෙම සහන වැඩසටහනට අදාළ වනු ඇති.
ඒ අනුව, නිවසක මුළු ව්‍යුහයෙන් 65% කට වඩා හානි වී ඇත්නම් හෝ පදිංචියට නුසුදුසු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිර්දේශ කර ඇත්නම් එය පූර්ණ නිවාස හානියක් ලෙස සලකන බවයි එම මාර්ගෝපදේශයන්හි සඳහන්.
ඒ වෙනුවෙන් ලබාදෙන සහන මෙසේය,
ප්‍රතිලාභියාට අයත් ඉඩමක නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් 5,000,000/- ක දීමනාවක් අදියර තුනක් යටතේ ලබාදෙනු ඇති.
පදිංචියට සුදුසු නිවසක් මිලදී ගැනීම සඳහා ද රුපියල් 5,000,000/- දක්වා දීමනාවක් හිමිවේ.
ඉඩම් නොමැති අය සඳහා රජය මගින් සපයන ඉඩමක නිවසක් ඉදිකිරීමට හෝ රජය මගින්ම නිවසක් ඉදිකර දීමට කටයුතු කරනු ඇත.
ඉහත ක්‍රම මගින් නිවාස අවශ්‍යතාව සපුරාගත නොහැකි නම්, ඉඩමක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 50 ක් සහ එහි නිවසක් ඉදිකිරීමට තවත් රුපියල් ලක්ෂ 50 ක් වශයෙන් දීමනා ලබාදීමට ප්‍රතිපාදන සලසා තිබෙනවා.
65% කට වඩා අඩු හානි සහිත නිවාස අර්ධ හානි ලෙස වර්ග කෙරෙන අතර, ඒ සඳහා වන්දි ගෙවීමේ ක්‍රම දෙකක් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, තක්සේරුවකින් තොරව වන්දි ලබා ගැනීමට කැමති හිමියන් සඳහා රුපියල් 500,000/- ක මුදලක් වාරික දෙකකින් ලබාදේ.
එමෙන්ම, හානි තක්සේරුවකට කැමති අය සඳහා තක්සේරුවෙන් පසු උපරිමය රුපියල් 2,500,000/- දක්වා වන්දි මුදලක් ලබාගත හැකියි.
මෙම වන්දි සහ දීමනා හිමිවන්නේ පුද්ගලයෙකු ස්ථිරව පදිංචිව සිටි එක් නිවසකට පමණි,
තවද, අලුතින් ඉදිකරන නිවාස අවම වශයෙන් වර්ග අඩි 650 කින් යුත් ආපදා ප්‍රත්‍යස්ථික නිවාස සැලැස්මකට (Annexure 01) අනුකූල විය යුතු බවයි එම මාර්ගෝපදේශයන්හි සඳහන්.
ආපදාවෙන් ලියකියවිලි විනාශ වී ඇත්නම්, ඒවා නොමිලේ ලබාදීමට හෝ සහතික කළ පිටපත් මත ගෙවීම් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති අතර, මෙම වැඩසටහන කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ සංවර්ධන නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවලට වගකීම් පවරා තිබෙනවා.
මෙම සහන ලබාගැනීම සඳහා වන අයදුම්පත් (NDRSC 3 ආකෘති පත්‍රය) ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාගත හැකි බවයි එම නිවේදනයේ සඳහන්.