WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට

2026 January 13- Page Views : 7

සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් පිළිවෙලින් රුපියල් 120/-ක්, රුපියල් 125/-ක් සහ රුපියල් 132/-ක් ලෙස මිලදී ගෙන ඇත.

  එහෙත් ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම වැඩි දියුණු කිරීම සඳහා එම වී වර්ගවල අවම මිල ගණන් සංශෝධනය කිරීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුව නිර්දේශ කර තිබේ.

එම නිර්දේශයන් පදනම් කර ගනිමින් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව තීරණය කර ඇත්තේ, නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120/- ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටය.

  ඒ සමඟම, සම්බා වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 125/- සිට රුපියල් 130/- දක්වාත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 132/- සිට රුපියල් 140/- දක්වාත් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

මෙම තීරණය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම්වත් කිරීමෙන් අනතුරුව, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇති බව සඳහන් වේ.