WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුම්රිය අනතුර සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පොලීසියට පැමිණිල්ලක්

2026 May 16- Page Views : 12

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අද (16) අලුයම දුම්රියක් පීලි පැන පෙරළීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ අනතුරට හේතුව බවට මේ වන විට වාර්තා වි ඇත්තේ දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය මාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ බාර් ගැලවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බවත් පැවසූ ඒ මහතා මේ වන විට පොලීසිය විසින් ස්ථානීය පරීක්ෂණයක් සහ අනතුර සම්බන්ධව විමර්ශනයක් සිදුකරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසංක සමරසිංහ මහතා,  

"මෙම අනතුරට දැනට අපිට නිරීක්ෂණය වෙන හේතුව සොලිඩ් බේස් සයිට් එකට යන්න හදපු මාර්ගය සහ ප්‍රධාන මාර්ගය අතර පයින්ටුවක් තියෙනවා පාරවල් මාරුවන. මේ පාරවල් මාරුවන පයින්ටුවේ තියෙනවා යකඩ බාර් පාර මාරු කරන්න. මේ බාර් යම්කිසි හිතාමතා හෝ කඩාකප්පල්කාරී ලෙස හෝ සොරකමක් වශයෙන් හෝ යම් කිසි පිරිසක් මේක ගලවලා තියෙනවා. මේ ගැලවීම නිසා අර පයින්ටුව ලිහිල් වෙලා මෙම දුම්රියේ ඉදිරි මැදිරිය ප්‍රධාන මාර්ගයේත් පිටිපස මැදිරිටික අර සොලිඩ් බේස් එකෙත් ගමන් කිරීම නිසා මෙම බලවේග කට්ටලයේ දෙවැනි මැදිරිය පාරවල් දෙකේ ගමන් කරලා පෙරළීමකට ලක්වෙලා. මේ සම්බන්ධව අපි පොලීසියට පැමිණිලි කරලා තියෙනවා. පොලීසියේ විශේෂ යුනිට් එකක් ඇවිත් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරනවා. මේ වන විට පොලීසිය විසින් ස්ථානීය පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා."

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශන අනුව දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ පොලීසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවෙකු බවය.

සැකකරු දුම්රිය මාර්ගයේ ගලවන ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

එමෙන්ම සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

අද අලුයම සිදුවූ මෙම අනතුරින් මගීන් 12 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවත්ය.