WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාසල් සිසුන් අතර පැතිර යන මෙනින්ජයිටීස් තත්ත්වයක් ගැන අනාවරණයක්

2026 May 22- Page Views : 2

පාසල් සිසුන් අතර මේ වන විට වෛරස් මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් පැතිර යන අතර ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.

ප්‍රථමයෙන්ම දෙනියායෙන් වාර්තා වූ මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්ත්වය මේ වන විට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව දියතලාවෙන් රෝගීන් 28ක්, වැලිමඩෙන් 13ක් සහ රිකිල්ලගස්කඩින් රෝගීන් 25ක් පමණ වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් වන බවත් මේ සම්බන්ධයෙන් වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ‍යකින් යුතුව කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම රෝගය පාසල් ළමුන් අතර වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති අතර තද උණ, හිසරදය, වමනය මෙහි රෝග ලක්ෂණ වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කර සිටියේ මෙම රෝගී තත්ත්වය නිසි ප්‍රතිකාර ලැබීමෙන් සුව වන අතර ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය.

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා,

''මේ දිනවල මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් වාර්තා වෙනවා.. දෙනියායෙන් තමා මුලින්ම දැක්කේ.. මේ වනවිට දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩවල යන රෝහලවලත් වාර්තා වෙනවා.. මේ ගැන වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ සහ ආවේෂණ කටයුතු සිදු කළා.. ඒ වගේම මේක වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් කියලා තහවුරු වෙලා තියෙනවා. මෙම රෝගය පාසල් ළමුන් අතර තමා ව්‍යාප්ත වෙලා තියෙන්නේ.. මේකේ රෝග ලක්ෂණ තද උණ, හිසරදය, වමනය.. මෙම රෝගයට බදුන් වූ රෝගීන් හැමදෙනාම පාහේ රෝහල්වෙත යොමුවෙලා තියෙනවා.. ඒ වගේම ප්‍රතිකාර එක්ක දවස් 5 -7ත් තුළ මෙම රෝගය සුව වෙනවා.. ඒ නිසා අනිසි බියක් ඇති කර ගන්න එපා.. මෙම රෝගය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ.. සියලු රෝගීන්ට නිසි අයුරින් ප්‍රතිකාර කරනවා.. කාටවත් බරපතළ නෑ.. පවතින වර්ෂාව හා වෙසක් සමයේ  තියෙන දන්සල් එක්ක අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා පරිස්සම් වෙන්න කියලා.. ඒ වගේම මේ රෝහ තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා.. විශේෂයෙන්ම මෙම රෝගය අපවිත්‍ර වූ ජලයෙන් සහ ආහාරවලින් පැතිරෙන නිසා සැලකිලිමත් වෙන්න.. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න.. කොහොම වුණත් විශේෂයෙන්ම අපි පාසල් ආශ්‍රිතව හොඳ සම්බන්ධීකරණයකින් වැඩ කටයුතු කරනවා මෙම රෝගය පැතිරීම අවම කරන්න''