කැනඩාවේ රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට
2026 May 22- Page Views : 2
රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් අත්අංඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් රවටමින් කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා සැකකරු විසින් මුදල් වංචාකරන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 7ක් ලැබී තිබ ඇත.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ එම නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිහිපවරක් උත්සහ කර තිබුණ ද ඔහු විමර්ශන නිළධාරීන් මගහැර සැගව සිට තිබු අතර පසුව පොලිස් විශේෂ කාර්යාංශයේ නිළධාරීන් හා එක්ව සිදුකළ වැටලීමකදී කුච්චවේලි ප්‍රදේශයේ නිවසේ සැගව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
28 හැවිරිදි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන සැකකරුට විරුද්ධව මීගමුව, මඩකලපුව හා අවිස්සාවේල්ල අධිකරණවල නඩු පවතින අතර ඔහුට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බව සඳහන් වෙයි.
සැකකරු වංචාකර ඇති මුදල රුපියල් කෝටියකට අධික බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.