ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ දැඩි අවදානමක්
2026 June 06- Page Views : 14
දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය හේතුවෙන් මේ වනවිට රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළේ, වසරේ මේ දක්වා කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 35,228 දක්වා ඉහළ ගොස් ඇති බවය.
මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක ඉහළයෑමක් වන අතර, දිට්වා සුළිකුණාටු තත්ත්වය සමඟ ඇතිවූ අධික වර්ෂාපතනය සහ විටින්විට ලැබුණු වර්ෂාව මීට ප්‍රධානතම හේතුවවී ඇති බවද පැවසෙයි.
මේ වනවිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ඩෙංගු රෝගීන් වාර්තාවී ඇති අතර ඉන් සියයට 50ක්ම වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
විශේෂයෙන්ම සමස්ත රෝගීන්ගෙන් සියයට 80ක්ම කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඊයේ (05) දිනයේදී තවත් ඩෙංගු මරණයක් වාර්තා වීමත් සමග වසරේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු හා ළමුන් තිදෙනෙකු සිටින අතර සෙසු පිරිස කාන්තාවන් ය.
කෙසේවෙතත් පවතින දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් ජුනි 08, 09 සහ 10 යන තෙදින තුළ දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.